Search
Close this search box.

September 8, 2020

දළදා වහන්සේ වෙනුවෙන් අතීතයේ සිටම අනනත්වත් කවි ගීත ලියැවි ඇති. ඉදිරියටත් එලෙසමයි. ඉතින් අද කියන්න යන්නේ දළදා වහන්සේ වෙනුවෙන් ලියැවි ඇති කවි, ගී පිළිබඳ කෙටි සටහනක්. හැබැයි මේ ලියන නිර්මාණ වගේම තවත් එවන් නිර්මාණ ඔබත් දන්නවා ඇති. දළදා වහන්සේ වෙනුවෙන්ම සේවය කරන කලා ශිල්පින් ඉන්නවා. එහෙම පිරිසක් හදුන්වනවා කවිකාර මඩුව කියලා. මේ පිරිස අපිට හමුවෙන්නේ බදාදා හා පෝය දවස්වලයි. තව, දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනයට තබන අවස්ථාවේදිත් මේ කවිකාර මඩුව දකින්න පුළුවන්. මේ අය දළදා පෙරහරෙත් යනවා. කවිකාර මඩුවේදි කෙරෙන්නේ බුදුගුණ කියන එකයි. රජදවසේ මේ පිරිස කළේ රජතුමාගේ ගුණ වැයිමයි. සෑම දිනකම උදේ කවිකාර මඩුවෙ අය එතුමාට ඇහෙන්න ගුණ වයනවා. විරිදු කියලත් මේවා හදුන්වනවා. කාගේ හරි ගුණ වයන ගීතිකා වලට කියන්නේ විරිදු කියලයි. පැරකුම්බා සිරිත ත් එවැනි කවිපොතක් තමා. පැරකුම්බා සිරිතෙන් කෙරෙන්නෙත් රජතුමා ගැන ගුණ කීමයි. දළදා මාලිගාවේ කවිකාර මඩුවේදි ගයන කවි ගී එන්නේ පරම්පාරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරා සතුව මේ කවි ලියපු පුස්කොළ පොත් තියෙනවා. මේ කවි ඒ අය සුරක්ෂිත කරනවා. මේවා රැකගන්න ඕනේ හින්දා සමහර වෙලාවට ගයන්නේ කාටත් තේරුම්ගන්න බැරි ආකාරයට. මේ කවි නිකම්ම කියන්නේ නැහැ. උඩැක්කි, පන්තේරු, තාලම්පට වගේ වාද්‍ය භාණ්ඩත් ඊට එක්කර ගන්නවා. මෙම කවිකාර මඩුවට කලා ශිල්පින් පස්දෙනෙක් අයත් වෙනවා. මේ අයට පැවරෙන්නේ දළදා වහන්සේ කිට්ටුවපසිට බුදුගුණ ගායනා කිරිමයි. මේ අය සිටින්නේ උඩුමාලේ බරාඳයක. මෙම කවි පටන් ගන්නේ වැඩසිටින මාලිගයේ යම් යම් පුජාවන් තබන වෙලාවටයි. මේ අයට ඒ සදහා ඇතුළතින් යම් සඥාවක් ලැබෙනවා. ඒ ඉඟිය දෙන්නේ ගණ්ඨාරය ගැසිමෙන්. ගණ්ඨා නාදේ ඇසුණුවිටම කවිකාර මඩුව පටන් ගන්නවා. රජතුමාගේ කවිකාර මඩුවේ ඉඳල තියෙනවා මුංකොටුවේ රාල හා ලෝකුරු නයිදේ කියලා ප්‍රසිද්ධ කවියෝ දෙ⁣න්නෙක්. මේ දෙන්නා කවිකාර මඩුවේදි බහින්බස් වෙන්නෙත් කවියෙන්ලු. ඒවාට කියන වෙනම නමක් තියෙනවා. ඒ බහින්බස්විම් වලට කියන්නේ “පරහු කීම් ” කියලයි. ඒ වගේම දළදා වහන්සේ ගැන මුද්‍රණය නොවු පොත් රැසක්ම තියෙනවා. බ්‍රිතාන්‍යයේ පුස්තකාලයේත් මෙවැනි නිර්මාණ තිබෙනවා. 1829 දි ඇතිවු වැස්ස නිසා බිහිවු “දළදා වතුර ” කවි පොත ගැන කවුරුත් දන්නවා. තව 19වන සියවසේ කවි 31ක් තිබෙන පොතක් බිහිවුණා. ඒකට කියන්නේ දළදා වන්දනාව කියලයි. “දළදාවලිය” කියන පොතේ කවි 65ක් ඇති බව සදහන් වෙනවා. දළදා වහන්සේ ගැන සදහන් වෙන දළදා සරණේ කවිපොතේ කවි 54ක් තිබෙනවා. දළදා සින්දුව කියලා පුස්කොළ පොත්වල සදහන්වෙනවා. ඒ වගෙම දළදා මාලිගාව ඉදිකරපු හැටි කියවෙන කවි දොළහක් සදහන්වෙන “දළදා මාලිගාවේ සින්දුව” කියලා තව පොතක් තියෙනවා.ඉතින් මේ විදියට දළදා වහන්සේ ගැන ලියැවි ඇති කවිපොත් රැසක්ම තිබෙනවා. සිරිත් මෙලක අදිපොති නරනිරිඳුන් නේ කිරිත් සයුර විලසින් දිලිසෙන්නේ පිරිත් එදම්වල දිවුනු කරන්නේ සිරිත් දන්ත දාතුව මුනිඳුන්ගේ මේ කවිය එන්නේ “දළදා මාලිගාවේ කවි පොත නැමැති කෘතියේ .මේ කවිපොතෙන් කියවෙන්නේ සෙංකඩගලපුර දළදා මාලිගාව ගොඩනගපු ආකාරයයි. සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන.

Share With