Search
Close this search box.

September 8, 2020

දළදා වහන්සේට පූජාකරන ආහාර පාන පිළිවෙළ කරන ක්‍රමය ගැන කියන්නයි අද සුදානම.දළදා වහන්සේට ආහාර පුජා හා ගිලන්පස පුජාව හැමදාම තියෙනවනේ.ඉතින් මේ පුජාවන් සකස් කරන්නේ මාලිගාවට අයත් මුළුතැන් ගෙයි. බුදුන් වහන්සේ, දෙවියන් වැනි උතුමන්ට පුජාකරන කරන ආහාර වලට කියන්නේ මුළුතැන් කියලයි.ඒ වගේම ඒ පුජා ආහාර සකස්කරන තැනට කියන්නේ මුළුතැන් ගේ කියලයි. මේ පුජා ආහාර ගෙනයන්නේ මුළුතැන් කත්වලින්. මේ මුළුතැන් ගේ භාරව වෙනම මුලාදෑනියෙකු ඉන්නවා.අතීතියේ ඔහුට කිව්වේ මුළුතැන් රාල කියලයි.කාරියකරවන කෝරාළගේ අනුදැනුම මත තමයි ඔහු වැඩකරන්නේ. බුද්ධ පුජාවට දානය ගෙනෙන ලොකුම පාත්තරේට කියන්නේ මාරම්පාත්තරේ කියලයි.දක්කන පාත්තරේ කියල තව පාත්තරයක් තියෙනවා.අනෙක් පාත්තරේ කිරිබඩ පාත්තරේ.ඒකට හාල් සේරු අසුවක් අල්ලනවා .දුරුතු මාසේ පෝයට විතරයි ඒ පුජාව කරන්නේ. දළදා වහන්සේට පුජාකරන දානයට අවශ්‍ය හාල් ආදිය සපයා ගැනිමට රජවරු කුඹුරු මාලිගාවට පුජාකර තිබෙනවා.ඒ අනුව ගුරුදෙණියේ වී අටුවෙන් තමයි පුරාණයේ සිට දානයට අවශ්‍ය හාල් ලැබුණේ.ඒ ගම මාලිගාවට අයත් ගමක්. දළදා වහන්සේට දැහැත් වට්ටියක් පුජාකළත් ඒකට දුම්කොළ ගන්නේ නැහැ.මාලිගාවට අවශ්‍ය හාල් ලැබෙන්නේ මාලිගාවටම අයත් ඉඩම්වලින්.අලදෙණිය කිතුල්පේ, ඒදඬුවාව,කීරගල්ල,අලපලාවල, මුංවතුගොඩ, කළුගොමුව,ආදි ගම්නවයකින් බුද්ධපුජාවට අවශ්‍ය සහල් ලැබෙනවා දළදා මාලිගාවට අයිති හාල් හදුන්වන්නත් වෙනම නමක් තියෙනවා.ඒ හාල් වලට කියන්නේ “හම්බා” කියලයි.ඒ ගම්වලින් බුද්ධ පුජාවට ගන්න එළවළුත් ගෙනෙනවා.ඒකට කියන්නේ “මහේ කත්” කියලයි. මුළුතැන් ගෙයි පුජාකරන ආහාර මාලිගාවට ගෙනයන්නේ කත්වලින්.ඉන් එක් කදක් තියෙනවා ඒකට කියන්නේ “හේමකද” කියලයි.එහි තේරුම වන්නේ රත්තරන් කද හෙවත් රන් කද යන්නයි.හේම කද ඔසවාගෙන යන්නේ මුකවාඩම් බැඳගෙන. ඔය විදියට තමයි දළදා වහන්සේ වෙනුවෙන් බුද්ධ පුජාව පිළිවෙළ වෙන්නේ.

සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන

Share With