Search
Close this search box.

November 27, 2020

මේ වසරේ කාර්තික මංගල්ලය සඳහා පහන් දැල්වීමට අවශ්ය තෙල් බෙදා දීම පුරාතන චාරිත්රානුකූලව අද(27) දින සිදු විය. තෙල් නැලි එකසිය තුනක් පමණ ශ්රී දළදා මාලිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා දේවාලවලට තෙල් බෙදාදීම මෙලෙස සිදු කරන ලදී.
දළදා වහන්සේ උදෙසා අතීතයේ සිට ම පැවැත්වෙන පූජෝපහාරයන් අතරින් සතර මංගල්යය ද මෙරට බෞද්ධ හා දළදා සම්ප්රදාය තුළ අතිශයින් වැදගත් පූජනීයත්වයක් උසුලයි. සතර මංගල්යයන් අතුරෙන් කාර්තික මංගල්යය විවිධත්වයක් ගනී. මෙම විචිත්රවත් උත්සවය දළදා වහන්සේගේ සහ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැවැත්වීමට අතීතයේ සිට ම උඩරට ගැමි මුතුන් මිත්තෝ පුරුදුව සිටියහ. කන්ද උඩරට නායක්කාර වංශික රජ දරුවන් යටතේ කාර්තිකයෙහි නොහොත් ප්රදීප පූජාවන් පැවැත්වීම බහුලව ප්රකට වූවා යැ’යි සැලකිය හැකි ය. අග්නි පූජාවෙන් ඇරැඹි ප්රදීප පූජාව හින්දු භක්තිකයන්ගේ දීපවාලී උත්සවයට ද සමාන වේ. කාර්තික යනු ඉල් මසට තවත් නාමයකි. අතීතයේ සිට ම මේ දක්වාම වසරක් පාසා ඉල් මස නොහොත් නොවැම්බර් මාසයේ කැති නැකතින් ඇරැඹෙන මෙම උත්සවය කැති නැකතින් උපන් කඳ කුමරුන්ට කරන ගෞරව බහුමානයක් වශයෙන් ද පැවැත්වේ.

Share With