November 18, 2026

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩ හිඳින ගෞතම බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වඩා හිඳුවා ඇති මැදුරට සෙවන දෙමින් ඊට ඉහළින් ඉදිකර තිබෙන රන් වියනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 2025 වසරේදී ආරම්භ කෙරිණි. කාලයා ඇවෑමෙන් එහි තිබූ රන්පත් පියලි අවර්ණ වී ක්ෂය වී තිබූ අතර, මේ හේතුවෙන් රන් වියනේ පෙර තිබූ දිස්නය හා අලංකාරය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණි.

යුග ගණනාවක් පුරා උතුම් දන්ත ධාතූන් වහන්සේ උදෙසා රාජකීය පුදසත්කාර නිරතුරුවම පිරිනැමේ. එය අර්ථවත් කරමින් 1987 වසරේදී, එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගය වෙත මෙම රන් වියන සාදවා පූජා කරන ලදි. ඒ, ශ්‍රී දළදා මාලිගයේ අභ්‍යන්තරය සහ ඉදිරිපස ප්‍රදේශය තවත් අලංකාර කිරීමත්, ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින්ය. ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන නිර්මාණය කිරීමේදී සහ එහි මූලික සැලසුම් සකස් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (State Engineering Corporation) විසින් සිදුකළ අතර, ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ. එම සංකීර්ණ හා අභියෝගාත්මක ඉංජිනේරු සැලැස්ම සාර්ථක කර ගැනීමට ඔහු ප්‍රමුඛ දේශීය හා විදේශීය ඉංජිනේරු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා අවසානයේ මේ මහා අනර්ඝ නිර්මාණය ඉදිකොට නිම කළහ.

ශ්‍රී දළදා මාලිගාවේ දෘශ්‍ය අනන්‍යතාවක් බඳු වූ මෙම රන් වියන, මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වන, අතිශය අලංකාර හා වාස්තු විද්‍යාත්මක අතින් වැදගත් වන නිර්මාණයකි. මෙම රන් වියන මින් පෙර අවස්ථා දෙකකදී ප්‍රතිසංස්කරණය කරන ලදී. එනම් 2002 සහ 2018 යන වර්ෂවලදීය.

මෙවර එම වියන අතිනවීන ඉංජිනේරු තාක්ෂණයන් හා රන් ක්‍ෂේත්‍රය පිළිබඳ විද්වත් වෘත්තිකයන් ගණනාවකගේ දැනුම් සම්භාරය මුසුකර, මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන් හී අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇතිව, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියව‍ඩන නිලමේතුමාගේ මූලිකත්වයෙන් යුතුව, තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ දායකත්වයෙන් මොසැක් රන් පියලි අතුරා ප්‍රතිසංකරණය කර, 2026 වසරේ ඉල් මස 20 වැනි දින යළි නිරාවරණය කිරීමට නියමිතය.

Share With