ශ්‍රී දළදා මාලිගාවේ “නානුමුර මංගල්ලය

දිවමන් බුදුන් වහන්සේ එදා ආනන්ද තෙරුන් වහන්සේ විසින් ස්නානය කරවූ අයුරු සංකේතවත් කරන ශ්රී දළදා මාලිගාවේ “නානුමුර මංගල්ලය” ගැනයි මේ..
 
සතියේ බදාදා දින පැවැත්වෙන නානුමුර මංගල්ලය දළදා බුද්ධෝපස්ථාන, බුද්ධ පූජා අතර සුවිශේෂී පූජා විධියකි. එය සප්තාහික පූජාව වශයෙන්ද හැඳින්වේ.
 
නානුමුර මංගල්ලයට පෙර තේවා උපකරණ සෝදා පිරිසිදු කරනු ලබයි. ගඳකිළිය ඇතුළත හා පිටත ද පවිතර කරනු ලැබේ. තේවා භාර ස්වාමින් වහන්සේ හා ගිහි සේවක පිරිස නානුමුර මංගල්ලය පැවැත්වෙන දිනයේ ස්නානය කර පිරිසිදු වන අතර තේවා භාර හිමිවරු එදිනට පමණක් අදින අලුත් සිවුරු අදිනු ලැබේ. ගිහි නිලකරුවෝ පිරිස ද පිරිසිදු කළ අලුත් ඇදුම් අඳිති.
 
බදාදා උදයේ කත්තියන රාළ බෙහෙත් ද්රව්ය වලින් නානු පිළියෙළ කර ගනී. (මුළුතැන්ගේ පිළියෙළ කරනු ලැබූ දානය පාතරාවල තැන්පත්කර ගෙන හේම කදෙහි තබා උඩමාලයේ කත්තියන බරාදයට පයිංඩ කරන්නේ මොහු විසිනි.) නානුමුර මංගල්ලය පවත්වන්නේ දහවල් පූජාවට පෙරය. පෙ.ව 9.15 ට පමණ යතුරු පයිංඩ කර දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව තේවා භාණ්ඩ සුවඳ දුම් අල්ලා මැනවින් පිරිසිදු කළ ආසනය මත තැන්පත් කරති. තෙවරක් වට හේවිසිය වාදනය කර අවසන් වූ පසු නානුමුර මංගල්ලයට තේවාභාර ස්වාමින් වහන්සේ සූදානම් වෙති. හක්ගෙඩිඅප්පු තුන්වරක් හක්ගෙඩි පූගාන අතර, ගෙඩිය නාද කරවයි. ඒ සමඟ කවිකාර මඬුව ස්වකීය වාදන හා ගායනා අරඹති. මගුල් බෙරය තුන්වට්ටම අරඹයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ විසින් ස්නානය කරවූ ආකාරයෙන් එම බුද්ධොපස්ථාන සංකේතවත්ව සිදු කරමින් මෙම ස්නාන කටයුතු සිදුකොට තෙතමාත්තුව සිදුකරනු ලැබේ.
 
ඉන්පසු හේවිසිකරුවන් ආලත්ති පදය වාදනය කිරීමෙන් අනතුරුව ආලත්ති බෑම සිදුවේ. එදින තබ්බෝරුව, නාගසිංහම්, උඩැක්කිය හා කයිතාලම වාදනය කරති. වට හේවිසිය සමග කෙටි පෙරහරක් වැඩ හිටින මාලිගාවේ පාත මාලය වටා පරදක්ෂිණා කෙරේ. නානුමුර මංගල්ලය අවසන් වීමෙන් පසු සුළු වේලාවක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. අනතුරුව යළි දොරවල් වසා බුද්ධ පූජාව පවත්වයි. බුද්ධ පූජා සිදුකොට සුළු වේලාවකින් භාජන ඉවත් කර නැවත වරක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. පසුව නියමිත වේලාවට දොරවල් වසා යතුරු පයිංඩ කිරීම සිදුවේ.
ශ්රී දළදා මාලිගයේ නානුමුර මංගල්ලයේ නානු දියරය සෑදීම සඳහා ප්රධාන වශයෙන් යොදාගනු ලබන්නේ සඳුන්, රත් හඳුන්, කස්තුරි ඇතුළු පෞරාණිකව පිළියෙල කරගත් විශේෂ ‍‍ඖෂධ වට්ටෝරුවකී. නානුමුර මංගල්ලය අවසානයේ ඉතිරිවන නානු යුෂ ලබා ගැනීම සඳහා අතීතයේ සිටම ශ්රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන් පුරුදුව සිටින අතර, ඇතැම් බදාදා දිනවල බැතිමතුන් පොලිම් ගැසී සිටින අයුරු දැකගත හැකියි.
තොරතුරු: ශ්රී දළදා මාලිගාවේ දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම් ධර්ම සාහිත්යශූරී කේ. මීගහකුඹුර මහතා 2010 වසරේ දී රචිත “සිරි දළදා උරුමය” කෘතියෙනි.

Share With