Search
Close this search box.

March 13, 2021

අනුරාධපුර යුගයේදී ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමක් ලෙස හිඳගල රජ මහා විහාරය හැඳින්වේ. පේරාදෙණිය සරසවිය පසුකොට මඳ දුරක් ගියවිට හන්තාන කඳු බැවුමේ පිහිටි හිඳගල රජ මහා විහාරය වළගම්බා රජ සමයේ ගොඩනැගූ බව සැලකේ. මෙහි ඇති විහාරයේ දැනට ප්‍රතිමා ගෘහය පිහිටි ලෙන කටාරම් සහිතව පිළියෙළ කොට ඇත්තේ ක්‍රිස්තු පූර්වයේ විය හැකි යයි කියති. ගම්පොල යුගයේදී හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය හිඳගල විහාරය ප්‍රතිසංස්කරණය කල බව කියති. සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම වීමේදී මේ විහාරස්ථානයේද දිනක් වඩාහිඳුවා තිබු බවට ද පැවසේ.මෙහි ඇති සෙල් ලිපිය අනුව මෙම විහාරස්ථානය ඈත අතීතයේදී “වටක වහර” ලෙස හැඳින්වූවා විය හැකි බවත්, මෙහි ඉන්ද්‍රසාල ගුහාව දැක්වෙන පැරණි චිත්‍රය නිසා විහාරස්ථානයට “ඉන්ද්‍රසාල” ගුහාව යනුවෙන් පසුව හැඳින්වූ නම බිඳී ඒමෙන් හිඳගල ලෙස ව්‍යවහාර වන බවත් සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. මෙහි ඇති පර්වතය දණගසා සිටින අලියෙකුගේ හැඩය ගන්නා නිසා හිඳගල ලෙස හැඳින්වූ බවටද මතයකි.