November 20, 2026

ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන 2026 නොවැම්බර් 20 වන දින යළි නිරාවරණය විය.
 
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩ හිඳින ගෞතම බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වඩා හිඳුවා ඇති මැදුරට සෙවන දෙමින්, ඊට ඉහළින් ඉදිකර තිබෙන රන් වියනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 2025 වසරේදී ආරම්භ කෙරිණි. ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකරන ලද මාලිගය අභ්‍යන්තරයේ වූ දෙමහල් ප්‍රාසාදයේ වැඩ සිටින වාම ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද මෙම රන් වියන, කාලයා ඇවෑමෙන් රන්පත් පියලි අවර්ණ වී ක්ෂය වීම හේතුවෙන් පෙර තිබූ දිස්නය හා අලංකාරය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණි.
 
යුග ගණනාවක් පුරා උතුම් දන්ත ධාතූන් වහන්සේ උදෙසා රාජකීය පුදසත්කාර නිරතුරුවම පිරිනැමේ. එය අර්ථවත් කරමින් 1987 වසරේදී, එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගය වෙත මෙම රන් වියන සාදවා පූජා කරන ලදී. ඒ, ශ්‍රී දළදා මාලිගයේ අභ්‍යන්තරය සහ ඉදිරිපස ප්‍රදේශය තවත් අලංකාර කිරීමත්, ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින්ය. එහි මූලික සැලසුම් සකස් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (State Engineering Corporation) මඟින් සිදුකළ අතර, ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය. එම සංකීර්ණ හා අභියෝගාත්මක ඉංජිනේරු සැලැස්ම සාර්ථක කර ගැනීමට ඔහු ප්‍රමුඛ දේශීය හා විදේශීය ඉංජිනේරු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා එම නිර්මාණය ඉදිකොට නිම කළහ.
 
මෙම අභිනව ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමෙන් අනතුරුව, රන් වියන යළි නිරාවරණය කිරීමේ උත්සවය පැවැත්විණි. ඒ සඳහා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ උභය මහාවිහාරීය ගරුතර මහා සංඝරත්නය, තායිලන්ත ථෙරවාද බෞද්ධ පැවිදි සම්ප්‍රදායේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ භාවනා ආචාර්යවරයකු හා ආධ්‍යාත්මික ගුරුවරයකු වන තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ අතිපූජ්‍ය ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තායි දූත පිරිස, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
 
මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇතිව, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීමෙන් යුතුව, විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකරන ලද මෙවර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී, වර්ග අඩි 2,900කින් යුත් රන් වියනේ සමස්ත පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය උපයෝගී කරගනිමින් අලංකාරවත් සහ කල්පවත්නා ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී. ඒ සඳහා ලෝක ප්‍රකට ඉතාලි සමාගමක තාක්ෂණික උපදෙස්, සැලසුම් සහ යෝජනා සැලකිල්ලට ගැනුණු අතර, ලොව ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සමාගම් කිහිපයක උපදේශකත්වය ද, දේශීය සමාගම් ගණනාවක දායකත්වය ද ව්‍යාපෘතිය සඳහා හිමි විය.
 
එමෙන්ම රන් වියනේ ලෝහමය සැකිල්ල ද ඉංජිනේරු පරීක්ෂාවකින් අනතුරුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවලට ලක් කළ අතර, රන් නෙළුම්මල් සහ සියලු අලංකරණයන් යළි ප්‍රතිසංස්කරණය කරන ලදී. රන් වියනට ඉහළින් ඇති කොත් කැරලි ද්විත්වය, ලෝක ප්‍රකට ස්වර්ණාභරණ සමාගමක් වන සිංගප්පූරුවේ රෝයල් ඉන්සිග්නියා (Royal Insignia) සමාගම විසින් දඹරනින් නිර්මාණය කරන ලද අතර, රන් වියන වෙත ජපානයේ ඉවාසාකි සමාගමේ High-Beam Eye Light ආලෝකකරණ පද්ධතියකින් ආලෝකය සැපයීමට කටයුතු යොදා තිබේ.
 
ශ්‍රී දළදා මාලිගාවේ දෘශ්‍ය අනන්‍යතාවක් බඳු වූ මෙම රන් වියන, මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වන, අතිශය අලංකාර හා වාස්තු විද්‍යාත්මක අතින් වැදගත් වන නිර්මාණයකි. මෙම රන් වියන මින් පෙර 2002 සහ 2018 යන වර්ෂවලදී අවස්ථා දෙකකදී ප්‍රතිසංස්කරණය කරන ලදී.
 
கண்டியில் அமைந்துள்ள வரலாற்றுச் சிறப்புமிக்க ஸ்ரீ தலதா மாளிகையின் (புனித தந்தத் தாது ஆலயம்) புதுப்பிக்கப்பட்ட பொற்கூரை, 2026 நவம்பர் 20 அன்று மீண்டும் திறந்து வைக்கப்பட்டது.
 
1987 ஆம் ஆண்டு அப்போதைய பிரதமர் ரணசிங்க பிரேமதாசவினால் அர்ப்பணிக்கப்பட்டு, 2002 மற்றும் 2018 ஆகிய ஆண்டுகளில் புனரமைக்கப்பட்ட 2,900 சதுர அடி பரப்பளவைக் கொண்ட இப்பொற்கூரை, மல்வத்து மற்றும் அஸ்கிரிய பீடங்களின் மகாநாயக்க தேரர்களின் ஆசியுடனும், தியவடன நிலமேயின் வழிகாட்டலுடனும், தாய்லாந்தின் வாட் மார்ப் ஜான் (Wat Marp Jan) விகாரையின் முழுமையான அனுசரணை மற்றும் விஸ்வ பாரமி அறக்கட்டளையின் (Vishwa Parami Foundation) முன்னெடுப்பில் 2025 ஆம் ஆண்டு முதல் புனரமைக்கப்பட்டது. இதில் 24 கரட் தங்க மொசைக் வேலைப்பாடுகள், புனரமைக்கப்பட்ட உலோகச் சட்டகம் மற்றும் தாமரை அலங்காரங்கள், சிங்கப்பூரின் ரோயல் இன்சிக்னியா (Royal Insignia) நிறுவனத்தால் உருவாக்கப்பட்ட தூய தங்கக் கலசங்கள் மற்றும் ஜப்பானின் இவாசாகி (Iwasaki) நிறுவனத்தின் நவீன ஒளியமைப்பு (High-Beam Eye Light) என்பன உள்ளடக்கப்பட்டுள்ளன.
 
இன்று நடைபெற்ற திறப்பு விழாவில் அஸ்கிரிய பீடத்தின் மகாநாயக்க தேரர், மகா சங்கத்தினர், தியவடன நிலமே பிரதீப் நிலங்க தேல மற்றும் வாட் மார்ப் ஜான் விகாரையின் அதிபூஜ்ய லுவாங் போ அனன் அகஞ்சகனோ தேரர் தலைமையிலான தாய்லாந்து தூதுக்குழுவினர் கலந்துகொண்டனர்.
 
The newly restored Golden Canopy of the historic Temple of the Sacred Tooth Relic in Kandy was unveiled on 20th November 2026.
 
Originally offered in 1987 by then-Prime Minister Ranasinghe Premadasa and previously restored in 2002 and 2018, the 2,900-square-foot canopy was restored starting in 2025 with full sponsorship from Wat Marp Jan Monastery in Thailand and led by the Vishwa Parami Foundation, under the guidance of the Diyawadana Nilame and the blessings of the Mahanayaka Theras of Malwatta and Asgiriya Chapters. It features 24-karat gold mosaic work, restored metal framing and lotus motifs, pure-gold pinnacles crafted by Royal Insignia (Singapore), and a High-Beam Eye Light system by Iwasaki (Japan).
 
Today’s unveiling ceremony was attended by the Most Venerable Mahanayaka Thera of the Asgiri Chapter, the Maha Sangha, Hon. Diyawadana Nilame Pradeep Nilanga Dela, and a Thai delegation led by Most Venerable Luang Por Anan Akancagano of Wat Marp Jan Monastery.

Share With