September 15, 2020

දළදා පෙරහර අවසන් වෙන්නේ දිය කැපිමෙන්. ඉතින් දළදා පෙරහරේ දියකපන්නේ ගැටඹේ තොටුපළෙන්. ඒ දිය කපන ස්ථානයේ තියෙනවා ඓතිහාසික බෝධින් වහන්සේ නමක්. ඒ වගේම ඊට නුදුරින් තවත් බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ගැටඹේ බෝධිය. මේ බෝධින් වහන්සේලා හා ඒ ආශ්රිත රාජ පරම්පරා ගැන කියන්නයි අද සුදානම. මේ සියල්ලම මහනුවරට සම්බන්ධයි.
ගම්පොළ තුන්වැනි වික්රමබාහු රජතුමාගේ රාජධානියේ ගොඩනැගිලිත් පේරාදෙණියෙත් තිබු බව කියනවා. ඒ ගොඩනැගිලිවල නටබුන් 1890 දක්වා දකින්න තිබු බව පුරාවිද්යා ගවේශක ඒ.සි.ලෝරි මහතා සදහන් කරනවා. පසුව මහනුවර රජකළ නරේන්ද්රසිංහ රජතුමා ගේ කාලයේ (1706-1734) දි මේ භූමි භාගය දිසාව කෙනෙක් වෙත පවරා ඇති බව සදහන්.
පසුකාලීනව කීර්ති ශ්රි රාජසිංහ රජතුමා මේ ඉඩම් ආශ්රයෙන් මල්වත්තක් ඉදිකර තිබෙනවා. පසුව රාජාධි රාජසිංහ රජතුමා මේ මල්වත්තේ තාවකාලික ගමන් මාලිගාවක් තැනු බව කියනවා.මේ නිසා රාජ්ය නිලධාරින්ද ඒ අවට විසු බවකුත් සදහන් වෙනවා. රජවත්ත, වාහලවෙල වැනි ප්රදේශ බිහිවුණේ ඒ අනුවයි.
රජවරු විවිධ අන්දමින් පවත්වාගෙන ගිය මේ පේරාදෙණිය මල්වත්ත 1821 දි ඇලෙක්සැන්ඩර් මුන් කියන ඉංග්රීසි ජාතික නිලධාරියා විසින් වර්තමාන තත්වයට පත්කර තිබෙනවා. අලෙක්සැන්ඩර් මූන් මල්වත්ත නවිකරණය කරනවිට එහි තිබු බෝධින් වහන්සේද පසුකාලිනව ඉවත්කර ඇතිබව කියනවා.
ඉතින් මුලින්ම කිව්ව බෝධින් වහන්සේලාගේ කතාව මේකයි. දෙවැනි රාජසිංහ රජතුමාගේ සමයේදි එතුමා හා පරංගින් අතර 1638 මාර්තු 23 වෙනිදා ගන්නෝරුවේදි විශාල සටනක් ඇතිවුනා. දිගූද මෙිලෝ කැස්ට්රෝ කියන පෘතුගීසි සෙන්පතියා ඇතුළු කණ්ඩායම තමයි සටනට ආවේ. මේ ගන්නෝරු සටන ප්රසිද්ධ සටනක්. මේ සටනට රාජසිංහ රජතුමා මහවැලි ගඟබඩ තැනක කඳවුරු බැඳගෙන හිටියා. රජතුමාගේ සහෝදරයන් වූ ඌවේ කුමාරසිංහ කුමාරයා හා මාතලේ විජයපාල කුමාරයා තවත් තැන්වල කඳවුරු බැඳගෙන හිටියා. යුද්ධයෙන් ජය ලැබු රාජසිංහ රජතුමා ඒ කඳවුරු පිහිටි ස්ථාන සිහිවිම සදහා බෝ අංකුර තුනක් රෝපණය කළා. දළදා පෙරහර අවසන්වි වර්තමානයේ දියකපන සථානයේ රාජසිංහ බෝධිය, වර්තමානයේ ගැටඹේ රාජෝවනාරාමය ඇති තැන පිහිටි කුමාරසිංහ බෝධිය බිහිවුණේ එහෙමයි. ඒ වගේම විජයපාල කුමාරයා කඳවුරු බැන්ද පේරාදෙණිය මල්වත්තේ හිටවපු විජයපාල බෝධිය පසුකාලිනව කපා දමා තිබෙනවා.
මේ ගැටඹේ තොටුපළ ගැන කිරල සංදේශයේ සදහන් වෙන්නේ මෙහෙමයි.
 
වටොර රඹා හරි සුලබා ළපලු කර
පලෙස බිඹා දර සුලඹා යුරු පවර
මන පොළඹා දන පැහැඹා යනෙන සර
සිරි නරඹා යව ගැටඹා තොට මිතුර
 
මේ ගැටඹෙි තොටේ තවත් ඓතිහාසික ශාසනික කාර්යයන්ද සිදුකර තිබෙනවා. වික්රමබාහු රජසමයේ සතරවැනි ධර්මකිර්ති හිමියන්ගේ ප්රධානත්වයෙන් උපසම්පදාවක් මෙහි සිදුකර ඇතිබව සදහන් වෙනවා. ඒ වගෙම පළමුවැනි විමලධර්මසූරිය, දෙවැනි රාජසිංහ, දෙවැනි විමලධර්මසූරිය යන රජවරුන්ගේ කාලවලදි රාජ්ය අනුග්රහයෙන් මේ ස්ථානයේ උපසම්පදා විනය කර්ම කළබව ශාසන ඉතිහාසයේ සදහන් වෙනවා.
විසිවෙනි සියවස වෙනකොට ගැටඹේ බෝධිය අසල හින්දු කෝවිලක් අරඹා එහි සතුන් ආදිය මරාදැමිමට පටන් ගෙන තිබෙනවා. පසුව ඊට ජනතාව විරුද්ධ වි එම ස්ථානය මුදාගෙන ඒ ආශ්රිතව විහාරයක් ඉදිවුණා. රාජෝවනාරාමය බිහිවු⁣ණේ අන්න ඒ ආකාරයටයි.
ඉතින් ඔබ පේරාදෙණිය මල්වත්තට ගිහින් ඇති. ඒ වගේම ගැටඹේ බෝධියට, දියකපන තොටේ ඇති බෝධියට ඔබ යන්න ඇති. ඒ අපේ රට පරසරතුරන්ගෙන් බේරාගැනිමට රාජකීයන් කළ සටන් සිහිවෙන්න බෝධින් වහන්සේලා රෝපණය කළ තැන් බව ඔබ ඔබේ දරුවන්ටත් කියාදෙන්න. ඔවුන්ට රටේ ඉතිහාසය කියාදෙන්න.
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන. (ලක්බිම හිටපු ප්රධාන උප කතෘ)

Share With