ලෝක පූජිත නිර්මාණ දැයට දායාද කරදුන් දේවේන්ද්‍ර මුලාචාරින්ගේ කතාව..

දළදා මාලිගා පරිශ්රයේ රජවරුන් නඩු ඇසු මඟුල් මඩුව, පත්තිරිප්පුව, දිය අගල, වැවේ වළාකුළු බැම්ම, උල්පැන්ගේ ආදි හෙළ කලා නිර්මාණවල විශ්මිත සැලසුම් ශිල්පියා වූ දේවේන්ද්ර මුලාචාරින් ගැන විස්තරයක් කියන්නයි මේ සුදානම. පුරාණ ලංකාවේ විශිෂ්ටම ඉංජිනේරුවා වන්නේ ඔහුයි. හන්දෙස්සේ දේවේන්ද්ර මුලාචාරි කියලත් ඔහු හැදින්වෙනවා.
ඉතින් දේවේන්ද්ර මුලාචාරින් කියන මේ සුවිශේෂි ඉංජිනේරුවා එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියා රජවරුන් තිදෙනෙකු යටතේ සේවය කරලා තියෙනවා. ඔහු ඉපදිලා තියෙන්නේ 1747 කියලයි සදහන් වෙන්නේ. ඒ කියන්නේ ශ්රී විජය රාජසිංහ රජතුමාගේ අවසාන කාලයේදි. කීර්ති ශ්රී රාජසිංහ රජතුමා, රාජාධිරාජසිංහ රජතුමා, ශ්රී වික්රම රාජසිංහ රජතුමා යටතේ දේවේන්ද්ර මුලාචාරින් සේවය කර තිබෙනවා. දේවේන්ද්ර මුලාචාරින්ගේ දක්ෂතා ගැන පැහැදුණු කීර්ති ශ්රී රාජසිංහ රජතුමා 1780 දී දේවේන්ද්ර නාමය සමඟ මූලාචාරි යන පටබැඳි නාමය රන් නළල් පටක් සමඟ ප්රදානය කර තිබෙනවා. රාජ සේවය නිසා ඔහුට ගම්වර රැසක් තෑගි වශයෙන් ලැබුණා. ඒ අනුව දේවේන්ද්ර මුලාචාරින් උඩුනුවර, අරත්තන ගමේ නිවෙසක් සාදා පදිංචියට ඇවිත් තියෙන බවත් කියනවා ඒ පරපුරේ අය අදටත් උඩුනුවර අරත්තන ගමේ ඉන්නවා.
ඉතින් මේ හන්දෙස්සේ දේවෙින්ද්ර මුලාචාරින් කරපු සුවිශේෂිම නිර්මාණය තමයි අටලැස් අටල්ල හෙවත් පත්තිරිප්පුව. ඒ සිංහලයේ අවසන් රජු වූ ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවන් විසින් පත්තිරිප්පුව සාදා ඇත්තේ රජුට නගරය බැලීම, පිට්ටනියේ පැවැත්වෙන ක්රීඩා නැරඹීම ආදී අරමුණු මුල් කරගෙනයි. දෙහිගම දියවඩන නිලමේගේ යෝජනාවක් අනුව රාජකීය මුළුතැන් ගෙය කඩා එම ස්ථානයේ තමයි මේ පත්තිරිප්පුව ඉදිකළේ. පත්තිරිප්පුවට දේවේන්ද්ර මුලාචාරින් දුන් සැලැස්මට රජතුමා ඉහළ කැමැත්තක් දක්වා තිබෙනවා.
ඒ වගේම රජවාසලට ආසන්නව අදත් දක්නට ඇති මඟුල් මඩුව හදලා තියෙන්නෙත් දේවේන්ද්ර මුලාචාරින් විසින්මයි. මුල් සැලැස්මට අනුව මඟුල් මඩුවේ දිග මීටර් 19.75 පළල මීටර් 11.65 ක්. විසිතුරු කැටයමින් යුක්ත කුලුනු හැට හතරක් තියෙනවා. මඟුල් මඩුව උඩරට වාස්තු විද්යාවේ විචිත්රවත්ම නිර්මාණයක්.
එසේම මාලිගාව අසල ඇති කිරි මුහුද ලෙස හඳුන්වන වැව වටා ඇති වළාකුළු බැම්මත් දේවේන්ද්ර මුලාචාරින් ගේ නිර්මාණයක්.
දේවේන්ද්ර මුලාචාරින් රජමාලිගාවෙි ඔටුනු පට්ටල්, රන්කඩු පට්ටල්, සිංහාසන පට්ටල්, ආයුධ පට්ටල් යන පට්ටල්වල අධිපති ධුරය දරා තිබෙනවා. ඒ වගේම මේ ශිල්පියාගේ දක්ෂකමට ගරු කිරිමක් වශයෙන් රජ මාලිගාවේ විශේෂ ආසනයකුත් ඔහුට වෙන්කර තිබු බව සදහන් වෙනවා.
තව විශේෂ කරුණක් තිබෙනවා. මේ දේවේන්ද්ර මුලාචාරින් හා ශ්රී වික්රම රාජසිංහ රජතුමාගේ හැඩරුව එක සමාන බව සදහන් වෙනවා.මේ නිසාත් රජුගෙන් ඔහුට ලැබෙන සැලකිලි සත්කාර නිසාත් ඇමැතිවරුන් ඔහුට එරෙහිව රජුට කේලාම් කියු බව කියනවා. ඔහුගේ ඇඳුමත් රජමාලිගාවේ මහ අධිකාරමගේ ඇඳුමට සමානයි. රජුගේ නියමය අනුව දේවේන්ද්ර මුලාචාරින් නිතර යන එනවිට “රියන්දණ්ඩ” පාවිච්චි කර තිබෙනවා. මේ නිසා අධිකාරම්වරුන් මොහුගේ ඇඳුම වෙනස් කරවා ගැනිමට උත්සහ දරුවත් රජතුමා ඊට කැමැත්ත දක්වා නැහැ.
කෙසේ හෝ මුලාචාරි හා රජු බිඳවිමට ඇමැතිවරු ක්රියාකර තිබෙනවා. ඉදිකිරිම්වලට ගෙනා ලී කොට කර ඒම ලී මුලාචාරියා විසින් ලී කෙටි කර ඇතැයි ඇමැතිවරු රජුට පවසා තිබෙනවා. මොවුන් මූලාචාරියාට විරුද්ධව රජුට කේලම් කියු නිසා රජු ද ඒවා විශ්වාස කොට මූලාචාරියාගේ දකුණු අතේ මාපට ඇඟිල්ල කපාදමන බවට නියම කළ බව සඳහන් වෙනවා. මෙයින් කම්පාවට පත් මූලාචාරියා මහනුවර වැවට පැන දිවි නසා ගෙන තිබෙන බව ජනප්රවාදයේ සදහන් වෙනවා. ඒ 1812 දී. ඔහුගේ මරණයෙන් රජතුමා කම්පාවට පත්වු බවත් සදහන් වෙනවා.
අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණ රැසක් කර ඉතිහාස ගතවු මේ අසහාය නිර්මාණ ශිල්පියාගේ අවසානය එලෙස ශෝකජනක අයුරින් නිමාවි තිබෙනවා.
එසේම රජුගේ මේ නියමය නිසා දේවේන්ද්ර මුලාචාරින් හා පිරිස මහනුවරින් පලාවිත් නමත් වෙනස් කරගෙන ලියන්වල ප්රදේශයේ සැඟව ජීවත්වු බවට මතයකුත් ඇත. උඩුනුවර අරත්තන ගමේ තිබු දේවේන්ද්ර මුලාචාරින්ගේ නිවස දැන් කඩා වැටි ඇති බවයි දැනගන්නට ඇත්තේ. ඔහු පාවිච්චි කරපු ළිඳ, පඩිපෙළක් ,නිවසේ තිබූ විශාල කුරහන් ගලක් ඉතිරිව තිබෙනවා. ඒ වගේ ම ඔහුට රජවරුන්ගෙන් ලැබුණු සන්නස් තවමත් ඒ පරපුරේ අය ළඟ සුරක්ෂිත තිබෙන බව සදහන්.
පත්තිරිප්පුව: t.ly/PbkM
මඟුල් මඩුව: t.ly/Q5V5
වලාකුළු බැම්ම: t.ly/POW2
දිය අඟල: t.ly/R73R
උල්පැන් ගේ: t.ly/V7dU
නුවර වැව: t.ly/TRe7
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email