රජතුමා තැනු කිරි සයුර, බිසෝ උල්පැන් ගෙය හා හකුලන පාලම

බෝගම්බර වැව ගැන ඔබට මීට පෙර සදහන් කළා. ඒ වැව දැන් ගොඩවෙලා අවසන්. ඉතින් මහ ඉතිහාසයක් දරාගෙන වැසි තිබෙන ඒ බෝගම්බර වැව උඩින් තමයි බොහෝවිට අපි මහනුවරදි ඇවිදයන්නේ.
අද කියන්න යන්නේ දළදා මාලිගාව ඉදිරියේ තියෙන වැව ගැනයි. මාලිගාවට ගියාම ඔබ අනිවාර්යයෙන්ම ⁣මේ වැව අයිනටත් ගිහින් එහි සිහිල් සුළං සුවය ලබනවාට සැකයක් නැහැ. ඉතින් නුවර වැව එහෙම නැත්නම් කිරි සයුර, කිරි මුහුද වගේ නම්වලිනුත් මේ වැව හදුන්වනවා.
දවසක් රජතුමා ඇවිදිනකොට ඔය වැව තියෙන තැන නැගෙනහිර ⁣කෙළවරට වෙන්න කිරි ඉබ්බෙක් ඉන්නවා දැකලා තියෙනවා. රජතුමා කුඩා පොකුණක් හදවලා එතැන කිරිඉබ්බාට වාසය කරන්න ඉඩදිලා තියෙනවා. අන්න ඒ පොකුණත් එක්කම තමයි රජතුමා වැව හදවලා තියෙන්නේ.
රජතුමා සමග මෙන්ම සිංහල නායකයන් සමග හිතවත් වෙලා අපේ රට ඉංග්රීසීන්ට යටත් කරගැනිමට පාරකැපුව බුද්ධිමත් ඉංග්රීසී නිලධාරියෙක් හිටියා. එයාගේ නම ජෝන් ඩොයිලි. මේ ජෝන් ඩොයිලි ගැන කවුරුත් දන්නවනේ. එයාගේ දිනපොත හරිම ප්රසිද්ධයි. අපේ ඉතිහාසයේ ගොඩක් කරුණු එයාගේ දිනපොතෙන් ගන්න පුළුවන්. මේ ඉංග්රීසි ජාතික ඩොයිලිගේ දිනපොතේ (Diary of Mr. John D’Oyly) 1810 ඔක්‌. 23 දින සටහන් කරලා තියෙනවා ඒ වනවිට පත්තිරිප්පුව හා කිරි මුහුද නමින් හඳුන්වන නුවර වැවේ වැඩ අවසන්ව තිබූ බවට.
මේ වැවට යට වූ ප්රදේශය හැඳින්වූයේ ටිඟොල්වෙල නමින්. ශ්රී වික්රම රාජසිංහ රජ සමයේ එය මැසි මදුරුවන්ගෙන් පිරි මඩ ගොහොරුවක්‌ වෙලා තිබුණේ. මේ ගැන 1605 දී මහනුවරට පැමිණි ලන්දේසි ජාතික අද්මිරාල් ස්පීල්බර්ජන් සදහන් කර තිබෙනවා.
වර්ෂ 1803 දී උඩරට ආක්රමණයේදී මහනුවර නගරය ගිනිබත් කර රාජධානියේ මාස කිහිපයක් නතරව සිටි ඉංග්රීසි සොල්දාදුවන්ට මැලේරියාව වැළදුනේ මේ ටිගොල්වෙල නිසා බව සදහන් වෙනවා.
සර් හෙන්රි චාල්ස් නම් ඉංග්රීසි ලේඛකයා 1840 දී ලියූ “Ceylon and the Cingalese” (t.ly/BiBy) කෘතියේ ද සඳුහන් කරන්නේ නුවර වැව නිසා අලංකාරවු බවයි. එමෙන්ම වැව තැනීමේදී අපිරිසිදු වූ ජලයේ බැස සිටීම නිසා රෝග වැළඳි බොහෝ මිනිසුන් මිය ගිය බව තමන්ට අසන්නට ලැබුණූ බවත් ඔහු සඳහන් කරනවා.
මීට පෙර ලිපියෙන් සටහන් කළ පරිදි මේ වැවේ සැලසුම එකළ සිටි ඉහළම ඉංජිනේරුවා වු දේවේන්ද්ර මුලාචාරින් ගෙන්. පත්තිරිප්පුව හා මඟුල්මඩුව සැලසුමත් ඔහුගේ බව දන්නවනේ. මේ වැවේ අදටත් දක්නට ඇති වළාකුළු බැම්මත් දේවේන්ද්ර මුලාචාරින් ගේ සැලැස්මක්.
වැවේ වළාකුළු බැම්මේ තියෙනවා ත්රිකෝණාකාර කවුළු. මේ කවුළු වල රජ සමයේදි විශේෂ අවස්ථාවලදි පහන් දල්වා තිබෙනවා. නුවර වැවේ වලාකුළු බැම්ම කොටසක්‌ බැඳීම පැවරී තිබු ගන්නොරුව ටිකිරි ගම්මැහේගේ වසමේ මිනිස්‌සුන් එය වෙලාවට අවසන් කර තිබුණේ නැහැ. මේ නිසා කෝපවූ රජතුමා ඔහුට දඩුවම්කර ගම්මැහේ තනතුරද අහිමි කර තිබෙන බව කියනවා.
වැවේ දළදා මාලිගය අසල ඇත්තේ බිසෝ උල්පැන් ගෙය නම් ගොඩනැගිල්ලයි. එය රජ බිසෝවරු ස්නානය කළ ස්ථානයයි. එහි මඳක්‌ පහළින් වැවට බැසීමට ගල්පඩි කිහිපයක් දකින්න තිබෙනවා. එය මුල් වැව් බැම්ම ආරම්භ වූ ස්‌ථනයයි. එහි අනෙක්‌ කෙළවර පිහිටා තිබුණේ මල්වත්ත විහාරයට අයත් පෝය මළු විහාරයට ඉදිරියෙන්.
නැවතත් වැව තවත් විශාල කරන්නට රජතුමා කල්පනා කරලා එදා දුල්ලෑව දිසාවගේ වලව්ව (වත්මන් රැජින හෝටලය) ඉදිරියෙන් වැව් බැම්ම තැනෙව්වා. හැබැයි ඒ කාලේ වෙනකොට ශ්රී වික්රම රාජසිංහ රජතුමා ගැන මිනිසුන් කලකිරිලා හිටියේ.
කෙසේ නමුත් බැම්මේ මැද කොටස නොකපා ඉතිරිකළ බව කියනව. අදත් අපිට දකින්න තිබෙන වැව මැද ඇති අලංකාර දූපත නිර්මාණය වූයේ අන්න එහෙමයි. මේ දූපත මැද ජලතිලක මණ්‌ඩපය හෙවත් කුණ්‌ඩ ශාලාව නමින් හැඳින්වූ කුඩා ගොඩනැඟිල්ලක්‌ ද කරවා තිබෙනවා. ඒ රජතුමාට විවේක සුවයෙන් ඉන්න.
මේ දූපතට යන්න එල්ලෙන පාලමක් හදලා තිබෙනවා. එය “හල්වැල” ලෙසත් හැදින්වෙනවා. මේ පාලම හකුලන පාලමක්. අවශ්ය වෙලාවට එය දිගහරින්නයි හදලා තිබුණේ. අද එහි නටබුන්වත් නැහැ.
රාජසිංහ රජු විසින් කරවපු මුල් උල්පැන්ගෙය 1803 දී ඉංග්රීසින් ගිනි තබා විනාශ කළා. දැනට ඇත්තේ 1825 දී ජෝර්ජ් ටර්නර්ගේ මූලිකත්වයෙන් නැවත සැලසුම් කොට සාදවන ලද ගොඩනැගිල්ලයි. පසුව ඉංග්රීසින් මේ ගොඩනැගිල්ල පුස්තකාලයක් ලෙස භාවිත කළා. ඉංග්රීසීන් උඩරට අත්පත් කරගත්තාට පස්සේ කුණ්‌ඩ ශාලාව ඔවුන්ගේ වෙඩි බෙහෙත් ගබඩාව ලෙසට පාවිච්චියට අරන්. මේ ගොඩනැගිල්ලේ හා බිසෝ උල්පැන් ගෙයි අත්තිවාරම මධ්යම සංස්කෘතික අරමුදලේ කැණීම්වලින් සොයාගෙන එය සංරක්ෂණය කෙරුණා.
එදා වැව් බැම්ම අද තරම් උස නැහැ. නමුත් 1875 දී වේල්ස්හි ඇල්බට් එඩ්වඩ් කුමාරයා (පසුව රජවු) මහනුවරට සැපත්විම පැමිණීම නිසා වැව් බැම්ම උස්කර ජලාශය තවත් විශාල කර තිබෙනවා. ඉංග්රීසීන් රට යටත් කරගත් පසු අපේ බොහෝ නිර්මාණ ඔවුන්ට අවශ්ය පරිදි වෙනස්කරගෙන තිබෙනවා. මගුල්මඩුවටත් ඔවුන් එලෙස කළා. ඔවුනගේ සමයේදි ගරා වැටෙමින් තිබු වැව් බැම්ම ග්රෙගරි ඉංග්රීසි ආණ්ඩුකාරයා විසින් 1872 – 1877 කාලයේදි පිළිසකර කර තිබෙනවා.
ඉතින් දළදා සමිදුන් වැඳපුදාගන්න මහනුවරට යන ඔබ ඉහත කිව්ව ඉතිහාසය ගැන සිතමින් ඒවා දරුවන්ටද කියා දෙමින් වැවේ සිහිල විඳින්න.
නුවර වැව: t.ly/TRe7
උල්පැන් ගේ: t.ly/V7dU
වලාකුළු බැම්ම: t.ly/POW2
මඟුල් මඩුව: t.ly/Q5V5
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email