පාවඩ නොමැතිව පා නොතැබු මහ පිනැති මාලිගාවේ රාජා..

ඔබ දළදා වහන්සේ වැඳපුදාගත් මාලිගාවෙන් එළියට ඇවිත් අවට ඇති මඟුල් මඩුව හා රජවාසල දෙසටත් ගමන් කරනවනේ. ඉතින් මේ මඟුල් මඩුවයි, රජවාසලයි අතරේ තිබෙන ගොඩනැගිල්ලක සකසා ඇති රාජා හස්තියාගේ අනුරුව දැක ඇතිනේ. ඉතින් අද සුදානම් වෙන්නේ මේ රාජා ඇත්රාජයා ගැන තොරතුරු ටිකක් කියන්නයි.

මේ රාජා ඇතා බොහොම පින් ඇති සත්වයෙක්. අවුරුදු පනහක් පමණ දළදා පෙරහරේ කරඬුව වැඩම්මුවේ මේ ඇත් රජුයි. බොහෝ දෙනා රාජාට බොහොම ගරු කළා. ඇත්රජු බෝසත් ඇත් රජෙක් හැටියටත් හැදින්වුවා.

මේ රාජා හමුවුණේ මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ වනයකින්. 1925දී අල්ලාගෙන ඇති මේ ඇත් පැටවා මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව විසින් මිලදී අරන් තිබෙනවා. පසුව 1937 ජුලි 31 වැනිදා මාම්පිටිය දිසාව පූජා ඔප්පුවකින් රාජා ඇතා සහ කන්දා නමින් හැඳින් වූ තවත් ඇතෙකු ශ්‍රී දළදා මාලිගාවට පූජා කළා. ඒ පුජාකරන සමයේ ඇතාගේ උස අඩි 08ක්. සිය වලව්වේ සිට ඇතුන් ගෙනවිත් රන්කෙණ්ඩියෙන් ඇතුන්ගේ හොඬවැලට පැන් වත්කර ගිරාගම දිසාව දියවඩන නිලමේට ඇතුන් බාරදි තිබෙනවා. මේ අවස්ථාවේදි ගිරාගම දිසාව වගේම දියවඩන නිලමේත් සංවේදි වූ බවත් රැස්ව සිටි ජනතාව සාධුකාර දුන් බවත් සදහන්.

පසුව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා 1986 අගෝස්තු 20 වැනිදා රාජා “ජාතික වස්තුවක්” හැටියට ප්‍රකාශයට පත්කළා. එලෙස ජාතික වස්තුවක් බවට පත්කරපු ආසියාවේ පළමු හස්තියා අපේ රාජා ඇත් රජුයි. එවැනි කාර්යයක් ලෝකයෙන්ම සිදුවු දෙවැනි අවස්ථාව එයයි. ඊට පෙර ලෝකයේ ජාතික වස්‌තුවක්‌ බවට පත් වූ ප්‍රථම හස්‌තියාවුනේ කෙන්යාවේ ‘අහමඩ්’ නමැති හස්‌තියායි.

1955 පෙරහැරේදී රාජා කරඬුව වැඩමවාගෙන පෙරහැරේ යන ගමන් කුවීන්ස්‌ හෝටලේ ළඟට ආවාම ඇතා එහෙමම නැවතුණා. ඇත්ගොව්වො ඇතා ගමන් කරවන්න උත්සහ කළත් ඇතා සෙලවිලත් නැහැ. දැන් පෙරහැරත් නැවතිලා. පස්‌සෙ පිටුපසින් පෙරහැරේ ගමන් කළ නුගවෙල දියවඩන නිලමෙතුමාට එතනට ඇවිත් ඇතාට කතාකළත් ඇතා ගොරවලා බලා ඉඳලා. පස්සේ බැලුවාම රන්සිවිගේ බැඳල තියෙන බඳ පටිය කැඩිලා, තව අඩියක්‌ ගියා නම් රන්හිලිගේ ගැලවීමට තිබුනා. රාජා ඒකයි ගමන් නොකර නැවතිලා තියෙන්නේ.
සධාතුක කරඬුව වැඩමවීම පිණිස සුදුසුකම් ලැබීමට ඇතකු සතුව පිහිටිය යුතු සියළු මංගල කරුණු රාජා ප්‍රගුණ කළා. ඇත් කුල ගණනාව අතරින් උසස්‌ම කුලය වන ‘කුමරිය’ නමැති කුලයට රාජා අයත් වන බව සත්වවේදීන් පෙන්වා දී ඇත.

රාජා ගේ ගමන් ලතාව ඉතා ගාම්භීරයි. ඒ වගේම රාජා බුද්ධිමත්. රාජා පෙරහරේ කරඬුව වඩම්මන්නේ විශේෂ පාවඩයක් මතින්. ඉතින් පෙරහරේ පාවඩය එලනතුරු රාජා ගමන් කරන්නේ නැහැ. පෙරහර අවසන් වී කරඬුව ඉවත් කරනවිට රාජා කඳුළු සළන බව මහ සංඝරත්නය පවසනවා.

1959 වර්ෂයේ පැවති ඇසළ පෙරහරේ අලි කුලප්පුවි තිබෙනවා. එය ලෝකයේම ප්‍රසිද්ධ වුණා. එහිදි පෙරහර සම්පුර්ණයෙන් නැවති තිබෙනවා. මිනිසුන් හිස්ලූ අත දුවනවා. ඒත් කරඬුව රැගත් රාජා කිසිම කලබලයක් නොමැති රැඳි සිටියා. පසුව ඇත්ගොව්වන් රාජා දළදා වීදියේ ස්ථානයක ගස්බැන්දත් රාජා කිසිදු වෙනසක් නොමැතිව කරඬුව ආරක්ෂාකරගෙන සිටියා.

රාජා ඇත් රජුට මිනිස්සුන් දැක්වුයේ පුදුමාකාර ගෞරවයක්. ඒ වගේම මහ සංඝරත්නයට රාජා ඉමහත් ගෞරවයක් දැක්වුවා. ඒ නිසා රාජා ඇත් රජු ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා.1980 වසරේදි රාජා ඇත් රජු අසනීප වෙන්න පටන් ගත්තා.1986 වෙනකොට රාජා ගොඩක් දුර්වල වුණා. වරින් වර සංඝරත්නය රාජාට සුව පතා පිරිත් දේශනා ද කළා.
බොහෝ දෙනාගේ ඉමහත් ගෞරවයට පත්, මහපිනැති බෝසත් ගත්ඇති රාජා ඇත්රජු 1988 ජුලි මස 16 වැනි දින පෙරවරු 10 ට පමණ මෙලොව හැරගියා. අඩසියවසක පමණ කාළයන් දළදා සමිඳුන්ට මෙහෙවර ඉටුකළ රාජා, මාලිගාවට පුජා කළෙත් රාජා මොලොව හැරගියෙත් ඇසළ මාසයේදි වීම විශේෂයක්.

රාජා මියගිය පුවත ලංකාවටම ශෝක පුවතක් වුණා. රාජාට අවසන් ගෞරව දක්වන්න ලංකාවේ හැම පැත්තෙන්ම මහ සංඝරත්නය හා විශාල පිරිසක් එදා නුවරට ආවා. බොහෝ දෙනා රාජාගේ නිසළ දේහය අසල කඳුළු සැලුවා.

රජයේ සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ද අනුග්‍රහය මත ‘රාජා’ ජීවමාන ස්‌වරූපයෙන් ප්‍රතිනිර්මාණය කළා. වර්ෂ 1989 දෙසැම්බර් මස 12 වැනි දින තමයි රාජාගේ මේ අනුරුව සහිත ගොඩනැගිල්ල විවෘත කළේ. රාජා කෞතුකාගාරයේ ඡායාරූප: t.ly/H1ku

සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email