තේවාමුරයේ හේවිසි නාදේ දළදා මැදුරේ රැව්දෙන්නේ මෙහෙමයි..

“ජෙං ජෙං ජෙං කඩතක තක්කඩ තක….”
ඔබ හිමිදිරියේ දළදා මාලිගාවට පිවිසෙනවානම් අලුයන්දූරේ හේවිසිය ඇහෙන්නේ එ් විදියට බව මතක ඇතිනේ. අලුයම පහයි කාලට තමයි අලුයන්දුරේ හේවිසි ගහන්න පටන් ගන්නේ. මේ හේවිසි මණ්ඩපය තිබෙන තැන ඔබ දන්නවා. මාලිගාවට පිවිසිලා අඹරාව තුලින් ඇතුල් වුනාම තමයි තිබෙන්නේ.
මේ අඹරාව දිගේ ගියාම අපි පිවිසෙන්නේ ගල්කණු සහිත ශාලාවකට. ඒක තමයි හේවිසි මණ්ඩපය. ඔබ මාලිගාවට පිවිසෙන අවස්ථාවේ මේ ස්ථානයේ හේවිසි ගහනවානම් ඒ වැඩසිටින මාලිගාවේ තේවාව පැවැත්වෙන වෙලාවයි. හේවිසි ගැසීම කියන්නේ ශබ්ද පූජාවකට. ඉතින් මේ ශබ්ද පූජාව රජ සමයේ සිට සිදුකරන්නක්.
“ඇතුල් කට්ටලේ” හා “පිට කට්ටලේ” කියලා දළදා මාලිගාවේ සේවය කරන අය කොටස් දෙකකට බෙදෙනවා. මෙයින් ඇතුල් කට්ටලේ අයිති වෙන්නේ මුලාදෑනිවරුන්ට. පිට කට්ටලේට තමයි කලා ශිල්පීන් අයත්වෙ න්නේ. කලා ශිල්පින්ගේ ප්රධාන කණ්ඩායමක් තමයි හේවිසි කලා ශිල්පීන්.
මාලිගාවේ දවසට තුන්වරක් හේවිසි ගහනවා. කවිකාර මඩුව රැස්වෙන බදාදා දවසට හේවිසි වැඩිපුර ගහනවා. පෝය හේවිසිය ඇහෙන්නේ පෝය දවසට. පෝය දවසට මාලිගාව ඇතුලේ පොඩි පෙරහරක් යනවා. ඒක හේවිසි පෙරහරක්. වැඩසිටින මාලිගාව වටෙි හේවිසි වයමින් ඒ පෙරහර යනවා.
දළදා වහන්සේට ගිලන්පස හා දානය පුජා කරන වෙලාවල්වලට තමයි හේවිසි වයන්නේ. තේවාව අරඹන වෙලාව වගේම තේවාව අවසන් වෙන වෙලාව මාලිගාවේ පිරිස දැනගන්නේ මේ හේවිසියෙන්.
උඩරට දක්ෂ හේවිසි වාදකයෝ තමයි මාලිගාවෙි හේවිසි ගහන්න තෝරාගන්නේ. ඒ එක්කම පරම්පරාවෙන් පරම්පාරාවටත් මේ අය පැවත එනවා. ඉහතින්ම මම සදහන් කළාසේ අලුයන් දූරේ හේවිසිය පටන් ගන්නේ පහයි කාලට වගේ.
“ජෙං ජෙං ජෙං කඩතක තක්කඩ තක” කියන්නේ අලුයන්දුරේ හේවිසියේ මූලික පදය. බුද්ධ පුජාව තිබ්බට පස්සේ ගහන පදේට කියන්නේ “පූජා පදේ” කියලයි.
“ජෙඟු ජෙඟු ජෙඟු ජෙඟක්කු ජෙං ජෙඟත් ජෙඟු ජෙංකු…” ඒ පූජා පදේ ශබ්දයයි. මේ පදේත් වෙනස් කරනවා ඊළඟ බුද්ධ පුජාව තිබ්බම.
“ජෙංඟු ජෙඟු ජෙඟු ජෙඟක්කු ධිං කිතක් තක් කිතක් කිතක් තක්…”
ඔන්න ඔය පදේ ගහනකොට ගණ්ඨාරෙත් ගහනවා. එතකොට පදේ වෙනස් කරලා ගහනවා. ඒක ගහන්නේ උදේ හේම කඳ ආපසු ගෙනාවට පස්සේයි. හේම කඳ කියන්නේ දානේ අරන් යන එකට.
දවල් තේවාවෙදිත් කෙරෙන්නේ මෙහෙමයි. හේම කද පයිංඩ කරන කොට හේවිසි පදයක් ගහනවා. පයිංඩ කරනවා කියන්නේ බොහොම ගරු සරු ඇතිව උරහිසේ තබාගෙන යනවට. වැඩසිටින මාලිගය කඳ අරන් ගිහින් බුද්ධ පුජාව තියන්න ළං වෙනකොට තමයි ගණ්ඨාරය ගහන්නේ. අන්න එතකොටයි බුද්ධ පුජා හේවිසිය ගහන්නේ.
හවසට තේවාව කරන අවස්ථාවේදි හේවිසි ගහනවට කියන්නේ “හැන්දෑ දූරේ” කියලයි. හවස හයයි කාල⁣ට හැන්දෑදූරේ පටන් ගන්නවා. හවස ගහන්නෙත් අලුයන්දුරේ හේවිසි පදේමයි. දවුල් තුනයි, තම්මැට්ටම් දෙකයි, නළාවයි හේවිසියට ගන්නවා. එ්කට කලා ශිල්පීන් හයදෙනෙක් විතර ඉන්න ඹ්නේ.
රජ සමයේ ඉඳලා දළදා තේවාවට හේවිසි ගහන්න පත්කරපු කණ්ඩායම් ඉන්නවා. ඉහළ දොළොස්පත්තුවෙන්, පහළ දො⁣ළොස්පත්තුවෙන්, දුම්බරින්, මාදල ආදි ප්රදේශවලින් ඒ සදහා රාජකාරිකරුවන් රජසමයේ පත්කර තිබෙනවා. මේ සදහා රජතුමා පත්කළ පිරිස අතීතයේ හැදින්වුයේ පනික්කි කියලයි.
ඉතින් දළදා මාලිගාවට පිවිසෙන කොට මේ තේවා හේවිසි ඇහෙනවානම් අපේ සිත්වලට අමුතුම ප්රබෝධයක් ඇතිවෙනවා. ඒවගේම ගෞරවයක් ද ඇතිවෙනවා. ඒ හේවිසි පද දළදා මාලිගාවටම පමණක් සීමා වු ඒවා. එහි ගෞරවය වැඩිවන්නෙත් නිසාමයි.
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email