December 28, 2024

දෑයේ දුවා දරුවන්ගේ දිවි මඟ ඒකාලෝක කිරීම පරමාර්ථය කර ගනිමින් ප‍්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයෙන් හා මඟපෙන්වීමෙන්, ශ්‍රී දළදා මාලිගාව සමඟ 63 වසරක ජාතියේ අභිමානය – මහජන බැංකුව හා අත්වැල් බැඳගනිමින් දිවයින පුර විසිර සිටින අධ්‍යාපනයේ මන් පෙත් දිගේ ඇවිද යන්නට වෙර දරන දෙදහසකට අධික සිසු දරු දැරියන්ගේ හෙට දවස වෙනුවෙන් “සිසු දිරියට – බොදු සවියක්” ශිෂ්‍යත්ව වැඩසටහනේ මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය 2024 දෙසැම්බර් 28 දින පෙරවරුවේ මහනුවර, පල්ලෙකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ සරසවි ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වුනා.

අප රටේ අධ්‍යාපනයට දක්ෂ නමුත් දිළිඳුකමින් පෙලෙන දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව 2023 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් හට 2024 වසරේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ආර්ථික ශක්තිය ඉහල නංවමින් මෙම ප‍්‍රධානය කිරීමට මුල පුරනු ලැබුවා. විධිමත් ක‍්‍රමවේදයන්ට අනුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තෝරාගනු ලබන දරු දැරියන්ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර, එමඟින් දිවයින පුරා දිස්ත්‍රික්ක 16ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 207ක් ආවරණය කරනු ලැබේ. පළමු වසරේ රුපියල් මිලියන 36 ක් ද, දෙවන වසරේ මිලියන 72ක් ද, තුන්වන වසරේ මිලියන 108ක් ද, සිව්වෙනි වසරේ රුපියල් මිලියන 144ක් ද, පස්වෙනි වසරේ රුපියල් මිලියන 180 ක් ද, හයවන වසරට රුපියල් මිලියන 216ක් ද ශිෂ්‍යාධාර ලෙස ප්‍රදානය කිරීමට ඇස්තමේන්තු ගතකර තිබේ.

මේ අනුව හයවන ශ්‍රේණියේ සිට ඉදිරි වසර හයක කාලය අවසන්වන විට රුපියල් මිලියන 216ක මුල්‍ය වටිනාකමක් වාර්ෂිකව මේ සියලූ දරු දැරියන්ට ප‍්‍රදානය කිරීමට ශ‍්‍රී දළදා මාලිගාව හා මහජන බැංකුව එක්ව කටයුතු කෙරේ. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් මුල්‍ය වටිනාකමක් දැයේ සිසු දරු දැරියන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් අධ්‍යාපන සත්කාරයක් ලෙස පිරිනමන පළමු අවස්තාව මෙය වේ.

මෙම අවස්ථාව සඳහා කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, අධ්‍යාපනපති ආණමඩුවේ ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගණ රජමහා විහාරාධිපති, මහෝපාධ්‍යාය, ආචාර්ය්‍ය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය, මහනුවර හා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් වරුන්, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, මහනුවර ශ්‍රී මහා නාථ හා පත්තිනි දේවාලයන් හී ගරු බස්නායක නිලමේවරුන්, මහජන බැංකුවේ ගරු සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මැතිතුමා, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ඉහළ නිලධාරී මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගි විය.

Share With