ආචාර්ය්‍ය ප්‍රදීප් නිලංග දෑල

දියවඩන නිලමේ ශ්‍රී දළදා මාලිගාව

1815 දී සිංහල රාජ්‍යය යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන් කලක‍ට පසු අති පූජනීය දළදා වහන්සේගේත් මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කො‍ටගත් මාලිගා අංගයන්ගේත් ප්‍රධාන ගිහි භාරකාර ධූරය හිමිකර වූයේ දියවඩන නිලමේවරයාටය. චිරාත් කාළයක් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ලද පූජා සත්කාරයක් ඉටුකරලමින් දළදා වහන්සේට අප්‍රමාණ වූ ගෞරවයක් දක්වමින්, ආරක්ෂා කරමින් සෑම දියවඩන නිලමේ වරයෙක්ම තම යුතුකම් කොටස ඉටු කරන ලදී.

2005 වසරේ පැවති දියවඩන නිලමේවරයෙක් පත්කර ගැනීම සඳමා පැවැත්වූ නිලවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ඉදිරිපත් වන්නේ ඒ සඳහා අත්‍යාවශ්‍යම යුගයක සුදුසු පසුබිම ද සමඟිනි. එනම්, 1999 වසරේ දී ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් ද, 2001 වසරේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් ද පත් වී ලද අත්දැකීම් සමගයි.

එකම කාල සීමාවන් දෙකක මෙරට ප්‍රධාන දේවාලයන් දෙකෙහි බස්නායක නිලමේවරයා වශයෙන් කටයුතු කළ ප්‍රතමයා වීම සුවිශේෂී කරුණක්. කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලයට පමණක් දෙවෙනි වන රුහුණු මහා කතරගම දේවාලයේ හා සබරගමු මහ සමන් දේවාලයන්හි පෙරහර මංගල්ලයන් ද පැවැත් වූ බස්නායක නිලමේවරයෙකු වශයෙන් ඒ මහතා ලබා ගත් අත්දැකීම් සුවිශාලය.

මෙලෙස ලද අත්දැකීම් සමඟින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ 19 ‍වෙනි දියවඩන නිලමේවරයා වශයෙන් 2005 ජූලි මස 21වන දා පදවිප්‍රාප්ත වන ප්‍රදීප් නිලංග දෑල මහතා අනතුරුව 2015 වසරේ පැවති නිලවරණයෙන් දෙවෙනි වතාවටත් තේරීපත් වූ අතර, 2025 පැවති නිලවරණයෙන් එතුමා තුන්වෙනි වරටත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වශයෙන් තේරිපත් වන්නට භ‍ාග්‍ය ලද්දේය. ශ්‍රී දළදා මාලිගා ඉතිහාසයේ දියවඩන නිලමේ ධූරාවලියේ අඛණ්ඩව තුන් වතාවක් පත් වූ එකම දියවඩන නිලමේවරයා ලෙස මෙය ඉතිහාසගත වේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වශයෙන් 2005 වසරේ ඉදිරිපත් කළ තම ප්‍රතිපත්ති ප්‍රකාශය අරුත් ගන්වමින් එහි වගකීම් හා යුතුකම් මනාව අවබෝධ කරගනිමින්, දැවැන්ත සංවර්ධන කාර්ය්‍යභාරයක් දියත් කල ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ වරයා, 2005 වසරේ සිට ගෙවී ගිය කාලය පුරාවට සිදුකල මෙහෙය ජන සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ දෑල නම් සුන්දර ගම්මානයේ දී ඩික්සන් සරත්චන්ද්‍ර දෑල මැතිතුමාට හා එම මැතිණියට දාව වර්ෂ 1973 ඔක්තෝබර් 28 වන දින ගොඩැල්ල වලව්වේ දී මෙලොව එළිය දුටු වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑල දරුවාගේ මෑණියන් වන සිසාර දෑල මැතිණිය දිගුකලක් ගුරුවරියක් ලෙස සේවයකොට විශ්‍රාම ලැබීමෙන් පසු පැවිදි දිවියට එළඹ පැලවත්ත අශෝකා භාවනා අසපුවේ අද වැඩ වසයි.

1978 දී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුලත්ව මූලික සිප්සතර හදාරන ඔහු ද්විතීයික අධ්‍යාපනය සඳහා 1980 වසරේ දී කොළඹ නාලන්දා විදුහලට ඇතුලත් වනවා. 1992 දී නාලන්දාවේ කීර්තිමත්ම ශිෂ්‍යාට හිමි සම්මානය ද හිමිකර ගත් ඔහු නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා වශයෙන් ද කටයුතු කර ඇත. පාසලේ වාණිජ සංගමය, සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගම් වැනි ශිෂ්‍ය ක්‍රියාකාරකම් රැසකට ද ඔහු නායකත්වය ලබා දී ඇත.

උඩරට – පහතරට හා සබරගමු නර්ථනයන්ට බෙහෙවින් ඇලුම් කරන එතුමන්, සමස්ථ ලංකා නර්ථන ශූරතාවන්ගේ සිට බොහෝ ජයග්‍රහණ පාසල් මාතාවට තිළිණ කර දී තිබේ. උසස්පෙළ සමත්ව සබරගමු සරසවියට පිවිසි එතුමන් විදුහලට ගෙන දුන් අභිමන වෙනුවෙන් වර්ෂ 2005 දී නාලන්දා කීර්ථි ශ්‍රී යන ගෞරව නාමයෙන් පිදුම් ලබා ඇත.

එසේම සියළු සේවාවන්ට කෘතවේදීත්වය පල කරනු වස් එතුමා ලැබූ ගෞරව නාමයන් රාශියකී. ශ්‍රී සද්ධර්ම ධජ මහාමාන්‍ය ලංකාපුත්‍ර,  බුද්ධ ශාසනා බන්දු, රණමයුර ගෞරව ප්‍රණාමය, 2006 වසරේ දී හිමි වූ සබරගමු සරසවි අභිරම්‍යය ගෞරව නාමය, තායි මහා චූලෝලංකාර් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් හිමි වු සම්මාන ආචාර්ය්‍ය උපාධිය ඒ අතර වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයා වශයෙන් පත් වී ගෙවී ගිය කාලය පුරා එතුමන් කළ සේවය සම්භ‍ාවනවකට පාත්‍ර වේ.

මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයයන්හී අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුක උභය මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභ‍ාවේ මහා සංඝරත්නයේ නිරතුරු උපදෙස් හා අනුශාසණා ලබමින් ශ්‍රී දළදා මාලිගාවේ පූජනීයත්වයත්, ‍පෞරාණිකත්වයත් ආරක්ෂා කරමින් අද්‍යතනයට ගැලපෙන පරිදි, දෙස් විදෙස්හී නොමද ගෞරවයට පාත්‍රවන පරිදි සංවර්ධනය කර තිබේ. එසේම නව ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවීම තුලින් ශ්‍රී දළදා මාලිගාව වැදගත් විදේශ සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය කිරීමෙහිලා ප්‍රදීල් නිලංග දෑල දියවඩන නිලමේවරයාගෙන් ඉටු වූ සේවය සුවිශේෂී වේ. ලෝක සම්භාවනාවට පාත්‍ර ඓතිහාසික කන්ද උඩරට ඇසල පෙරහරේ සම්ප්‍රදායික උඩරට කලාව‍ට නව ජීවයක් එක්කරමින් පෙරහර සම්ප්‍රදාය තව තවත් ආරක්ෂා කරමින් වර්ථමාන තත්වයට පත්කිරීමට එතුමන් කළ කාර්යභාරය සුවිශේෂ වේ.

එයින් නොනැවතී විවිධ හේතූන් නිසා අසරණ වන ජනතාවට මූල්‍යමය හා ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර කරමින් දිවයිනේ දුෂ්කර පළාත්වල වෙහෙර විහාර දහස් ගණනක් සංවර්ධන කර දීමටත්, අඩු ආදායම්ලාභී පවුල් වල දූ දරුවන් උදෙසා දැවැන්ත ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් එතුමන් නායකත්වය ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ කාලවල බලපෑ ස්භාවික ව්‍යසන වලදී ශ්‍රී දළදා මාලිගාව හා උභය මහා විහාර ඒකාබද්ධව සහනාධාර සේවා වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත්, කලා ශිල්පීන් හා හීලෑ අලි ඇතුන් රැකබලා ගන්නා ඇත්ගොව්වන්ගේ සුබසාධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගැනීමටත් එතුමා පුරෝගාමී මෙහෙයක් ඉටුකරන ලදී.  ශ්‍රී දළදා මාලිගාව විසින් ගමින් ගමට, දොරින් දොරට රැගෙන ගිය දැවැන්ත සමාජ සත්කාරක සේවයක් වන “අපේ සත්කාරය” ව්‍යාපෘතිය ද ආචාර්ය්‍ය ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ තුමාගේ සංකල්පයකී.

Share With