Search
Close this search box.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය

හස්ථි මිත‍්‍ර සහසම්බන්ධතාව ඕනෑ තරම් වෙලාවක් බලා සිටීමට රුචි කරන හෙළ සංස්කෘතියේ ප‍්‍රබල අනන්‍යතාවයකී. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවන්නේ සුදු ඇත් පැටවෙකු මහාමායා දේවියගේ ගැබට ඇතුළු වන සිහිනයකිනි. පාරමිතා පුරන බෝසත් කතා අතර අලි-ඇතුන්ගේ ආත්මයන් ද අලි-ඇතුන් දන් දීමේ ගුණය ද හෙළි වේ. අලියා සහ මිනිසා අතර මෙරට පවතින බෞද්ධාගමික සහ සංස්කෘතික පසුතලය සඳකඩ පහණේ හා පිත්තල කැටයමේ සිට ඇම්බැක්ක දේවාලයේ දාරු කැටයම් දක්වා විහිදේ. පන්සල් බිතු සිතුවමේ සිට රජුගේ මඟුල් ඇතු දක්වා ම ඒ වාසනා ගුණය පැතිරී පවතී.

ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කිරීමේ සංස්කෘතික භාග්‍ය හිමි වන්නේ සද්ධන්ත කුලයේ ඇතෙකුට පමණී. කෙතරම් සද්ධන්ත වුව ද උපශාන්ත ලීලාවෙන් හා විනීත ව ඇතු දළදා කරඬුව වැඩමකරන විට නරඹන්නෝ අසුනෙන් නැඟිට ගෞරවාචාර දක්වති. හස්තියා පාදක ව උපැදි ගජග‍ා වන්නම දළදා පෙරහර ශබ්ධ මාධූර්යෙන් ඒකාත්මික කරන නාදයයි. ගජනායක නිලමේතුමා කැටුව යන ඇතුගේ ගමන් රිද්මය ද මේ ගජගා වන්නමේ තාලයන් සටහන් වේ.

Share With