Search
Close this search box.
සප්තාහික පූජාව -නානුමුර මංගල්ලය

සතියේ බදාදා දින පැවැත්වෙන නානුමුර මංගල්ලය දළදා බුද්ධෝපස්ථාන, බුද්ධ පූජා අතර සුවිශේෂී පූජා විධියකි. එය සප්තාහික පූජා වශයෙන්ද හැඳින්වේ. නානුමුර මංගල්ලයට පෙර තේවා උපකරණ සෝදා පිරිසිදු කරනු ලබයි. ගඳකිලිය ඇතුළත හා පිටත ද පවිත‍්‍ර කරනු ලැබේ. තේවා භාර ස්වාමින් වහන්සේලා හා ගිහි සේවක පිිරිස නානුමුර මංගල්ලය පැවැත්වෙන දිනයේ ස්නානය කර පිරිසිදු වන අතර තේවා භාර හිමිවරු එදිනට පමණක් අදින අලූත් සිවුරු අදිනු ලැබේ. ගිහි සේවක පිරිස ද පිරිසිදු කළ අලූත් ඇදුම් ඇඳිය යුතුය. බදාදා උදයේ කත්තියනරාළ බෙහෙත් ද්‍රව්‍ය වලින් නානු පිළියල කර ගනී. නානුමුර මංගල්ලය පවත්වන්නේ දහවල් පූජාවට පෙරය. පෙරවරු 9.15 ට පමණ යතුරු පයිංඩ කර දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව තේවා භාණ්ඩ සුවඳ දුම් අල්ලා මැනවින් පරිසිදු කළ ආසනය මත තැන්පත් කරති. තෙවරක් වට හේවිසිය වාදනය කර අවසන් වූ පසු නානුමුර මංගල්ලයට තේවාභාර ස්වාමින් වහන්සේලා සූදානම් වෙති. හක්ගෙඩිඅප්පු තුන්වරක් හක්ගෙඩි පූගාන අතර ඝංඨාරය නාදවෙයි. කවිකාර මඬුව ස්වකීය වාදන හා ගායනය අරඹති. මගුල් බෙරය තුන්වට්ටම අරඹයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ විසින් ස්නානය කරවූ ආකාරයෙන් එම බුද්ධොපස්ථාන සංකේතවත්ව සිදු කරමින් මෙම ස්නාන කටයුතු සිදුකොට තෙතමාත්තුව සිදුකරනු ලැබේ. ඉන්පසු හේවිසිකරුවන් ආලත්ති පදය වාදනය කිරීමෙන් අනතුරුව ආලත්ති බෑම සිදුවේ. එදින තබ්බෝරුව, නාගසිංහම්, ඩැක්කිය හා කයිතාලම වාදනය කරති. වට හේවිසිය සමග කෙටි පෙරහැරක් වැඩ හිටින මාලිගාවේ පාත මාලය වටා ප‍්‍රදක්ෂිණා කෙරේ. නානුමුර මංගල්ලය අවසන් වීමෙන් පසු සුළු වේලාවක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. අනතුරු යළි දොරවල් වසා බුද්ධ පූජාව පවත්වයි. බුද්ධ පූජා සිදුකොට සුළු වේලාවකින් භාජන ඉවත් කර නැවත වරක් මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. පසුව නියමිත වේලාවට දොරවල් වසා යතුරු පයිංඩ කිරීම සිදුවේ. පසළොස්වක පෝය දින පූජා පෝයදින වලදී විශේෂයෙන් පෝය දින වට හේවිසි පූජා ද නාගසිංහම් වාදනය ද කවිකාර මඩුවේ ගායනා හා වාදන ද ආලත්ති බෑමද සිදුවේ වැඩිදුර තොරතුරු

Share With