ශ්රී දළදා මාලිගාවේ වත්මන් තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්ය වේඬරුවේ ශ්රී උපාලි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව ශ්රී දළදා මාලිගාවේ කඨින පූජෝත්සවය මෙවර පැවැත්විණි. මහනුවර, කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනී කොත්මලේ සුධර්මා සිල් මෑණියන්ගේ සංවිධායකත්වයෙන් පැවති මෙම කඨින චීවර පූජාව සඳහා ප්රධාන දායකත්වය දැක්වූයේ ජනාධිපති නීතිඥ ප්රසන්ත ලාල් ද අල්විස් මහතා සහ නීතිඥ මහේෂි ද අල්විස් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් විසිනි.
අටමහා කුසල් අතරින් පළමුවැන්න වන කඨින චීවර පූජාව, ලොව සියලුම ආමිස දාන අතරින් උතුම්ම දානය ලෙස සැලකේ. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කඨින චීවරයක් පූජා කළ නාගිත නම් මහරහතන් වහන්සේ, අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සසුන්ගතව රහත් බව ලබා, එම කුසලයේ අනුසස් අනොතත්ත මහවිල අසලදී පැහැදිලි කර ඇති ආකාරය නාගිත සූත්රයේ දැක්වේ.