අද කියන්නේ දළදා මාලිගාවේ සිතුවම් ගැනයි. මේ සිතුවම් එකම කාලෙකට අයත් සිතුවම් කියලා කියන්න බැහැ. සිතුවම් දෙවර්ගයක් තියෙනවා. බිත්තිවල හා වහළයේ සීලිමේ හා ලී වල මේ සිතුවම් දකින්න තියෙනවා. මාලිගාව කලින් කලට අලුත්වැඩියා කරපු නිසා එකම සිත්තර පරම්පරාවකට මෙහි සිතුවම් අයත් වෙන්නේ නැහැ. ඒ නිසා සිතුවම් වල වෙනසකම් දකින්නත් තියෙනවා.
වෙනත් ව්හාරවල වගේම මෙහි ද බුද්ධ චරිතය, ජාතක කතා, දෙවි දේවතාවෝ, රජවරු, සතුන් වගේ සිතුවම් දකින්න තිබෙනවා. බුද්ධ චරිතය දක්වන සිතුවම් අතරෙහි සත් සතිය, බුද්ධ වංශය දක්වන සිතුවම් අතරෙහි සූවිසි විවරණය, ජාතක කථා දකින්න පුළුවන්
නුවර යුගයේ මුල්ම බිතු සිතුවම් දක්නට ලැබෙන්නේ දළදා මාලිගාවේ ඇතුල් මාලිගයේ. මහනුවර බිතුසිතුවම් කිරීම පටන් ගත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේ දිග (1747-1786)
බුද්ධ රූප වැඩියෙන්ම දකින්න තියෙන්නේ හඳුන්කුඩමේ. සුවිසිවිවරණය එහි බිත්තියේ උඩින්ම ඇඳලා තියෙනවා. ගෞතම බුදුරදුන් විවරණ ගත් අවස්ථාව වගේම අනෙක් බුදුුරජාණන් වහන්සේලා විවිරණ ගත් අවස්ථා එහි සිතුවම් කර තිබෙනවා. මෙහි දක්නට ලැබෙන්නේ බෝසතුන් අතුල නම් දිව්‍ය නාග රාජව සිටි කල විපස්සී බුදුන්ගෙන් ද, අරින්ද නම් රජව සිටි කල සිඛී බුදුන්ගෙන් ද විවරණය ලැබූ පුවතයි. බුද්ධ රූපවල දෑත් නිරූපණය කොට ඇත්තේ විතර්ක මුද්‍රාවෙනි.
බ්‍රහ්ම ලෝක හා දිව්‍ය ලෝක ගැන බෞද්ධයන් දන්නා නිසා මහ බ්‍රහ්මයාගේ හා ශක්‍ර දෙවියන්ගේ සිතුවම් මෙහි දකින්න තියෙනවා. මහා බ්‍රහ්ම රාජයාගේ සිතුවම් ඇත්තේ වැඩ සිටින මාලිගාවේ ඉදිරිපස දොරටුව අසල සීලිමේ දකුණු කෙළවරේ. ශක්‍රයාගේ සිතුවම තියෙන්නේ වැඩ සිටින මාලිගාවේ ඉදිරිපස දොරටුව අසල සීලිමේ වම් කෙළවරය.
දළදා මාලිගාව ගොඩ නැංවූ පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ හා නඩත්තු කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සිතුවම් මාලිගාවෙි තිබෙනවා. වැඩසිටින මාලිගාවට පිවිසෙන ප්‍රධාන දොරටුවට දකුණු පැත්තේ සීලිමෙහි තමයි විමලධර්මසූරිය රජතුමාගේ රූපය දක්නට ලැබේ. වම් අතෙහි සැරයටියකි. දකුණු අතෙහි මලකි. එහි ලියා තිබෙන්නේ “විමලදහම් රජතුමා” කියලයි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සිතුවමක් තියෙනවා වැඩසිටින මාලිගයට පිවිසෙන දොරටුවේ වම්පැත්තේ. එහි ලියා තිබෙන්නේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා කියලයි. කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමාගේ තවත් සිතුවමක් තියෙනවා පල්ලේමාලේ බුදුගෙයි වම්පැත්තේ බිත්තියේ. ඒ සිතුවම ළගම තමයි වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ සිතුවම තියෙන්නෙත්. උන් වහන්සේට සංඝරාජ පදවිය පිරිනැමුවේ කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා නිසා විය හැකියි ඒ සිතුවම් දෙකම එකම ළඟ නිර්මාණය කර ඇත්තේ.
වෙස්සන්තර කතාවට අයත් වෙන සිතුවම් දෙකක් වැඩසිටින මාලිගාවේ වම් පැත්තේ බිත්තිය මුදුනේ හා පල්ලේමාලේ දකින්න තියෙනවා . සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවම් තැන් කිපයක දකින්න තියෙනවා. ප්‍රභූවරුන් හා සාමාන්‍ය පුද්ගලයන් තමයි මෙම රූපවලින් පෙන්වන්නේ. ඒ වගේම චාමර, කොඩි, මල් ගත් මිනිසුන්ගේ රූප ගල්කණු මුඳුන්වල ඇඳලා තියෙනවා.
නොයෙක් සතුන් හා වෙනත් වස්තුන් සිතුවම් කිරිමට කාන්තා රූප යොදාගත් බව පෙනෙනවා ඈතින් බලනවිට ඇතෙක් හෝ වෙනත් සතෙක් වගේ පෙනුනත් ළගට ඇවිත් බලනවිට කාන්තා රූප සමුහයක් යොදාගෙන ඒ නිර්මාණය කර ඇති බව දැකගන්න පුළුවන්. එයයි එහි විශේෂත්වය.
ඒ වගේම සිංහයෝ, ඇත්තු, අශ්වයෝ, ගජ සිංහයෝ හංසයෝ, කුරුල්ලෝ වැනි සතුන්ගේ සිතුවම් වගේම නොයෙක් මල් මෝස්තර ලියවැල් හංස පුට්ටු,මල්ලවපොර, සඳකිඳුරියන් ආදිය තැන් කීපයක දකින්න තියෙනවා. ගොඩක් මෙවැනි චිත්‍ර තියෙනවා මාලිගාවට පිවිසෙන අඹරාවේ. අඹරාව කියන්නේ හේවිසි මණඩපයට පිවිසෙන බිම්ගෙය වගේ කවාකාර එකට. ඒ වගේම වැඩ සිටින මාලිගාවේ යටි මාලයේ සීලිමට මදක් පහළින් ඇතුන්, බෙරකාරයන්, නැට්ටුවන්, බොරුකකුල්කාරයන් සිතුවම් කර තියෙනවා.
නව විහාරයේ සිතුවම් ඇඳ තිබෙන්නේ එක්තරා ක්‍රම පිළිවෙළකට. ඒ බුදුරජාණන් වහන්සේගේ ආදාහන පුජොත්සවයේ සිට දළදා වහන්සේ ලංකාවට වැඩමවිම,හා මහනුවර වැඩමවිම දක්වා සිතුවම් එහි තිබෙනවා.
දළදා මාලිගාව විවිධ රජවරුන් ප්‍රතිසංස්කරණ කළ නිසා පුරාණයේ තිබු තවත් සිතුවම් යටපත් වෙන්නත් ඇති. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මාලිගාවෙි කපරාරුව කැඩි ඇතෙකුගේ රුවක් මතුවු බව ඔබට මතක ඇති. ඒ වගේ ඒ ඒ යුගවල ඇඳි තවත් සිතුවම් වැසි තිබෙන්න පුළුවන්.
මේ ආදි වශයෙන් විවිධ සිතුවම් දළදා මාලිගාවේ තිබෙනවා. දළදා වහන්සේ වැඳපුදා ගන්න යන ඔබ මෙවැනි සියුම් දේවල් ගැනත් අවධානය යොමුකර ඔබේ දරුවන්ට අපේ උරුමය, සංස්කෘතිය, කලාව ගැන කියා දෙන්න.
සටහන ~ ධර්ම ශ්‍රි තිලකවර්ධන.
© 2024 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98