මේ බෝගම්බර වැවට ජලය අරන් තිබුණේ දුනුමඬලා ඔය හරස් කරලයි. දුනුමඬලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ වතුරත් වැවට ලැබිලා තිබෙනවා.
ඉතින් මේ බෝගම්බර වැව තිබුණේ කොහේද කියා ඔබ දන්නවාත් ඇති. ඔබ දන්නවා වර්තමානයේ මහනුවර බස් නැවතුම්පළ, එතකොට ඔරලෝසු කණුව, පොදු වෙළෙඳපොළ, බෝගම්බර ක්රීඩාපිටිය, මහනුවර අධ්යාපන දෙපාර්තමේන්තුව, ප්රධාන තැපැල් කාර්යාලය, දුම්රිය ස්‌ථානය, මහනුවර පොලිස් ගොඩනැඟිල්ල, ගණදෙවි කෝවිල තිබෙන ප්රදේශය එදා පැරණි බෝගම්බර පැතිර තිබෙනවා.
මේ වැවේ ඉපැරණි විස්තර පිළිබඳ වගේ මහනුවර නගරයේ ඉපැරණි විස්තර බොහොමයක් හොඳින් දැන සිටියා මල්වතු විහාරයේ වැඩසිටි අලුත්ගම ධම්මානන්ද නායක හාමුදුරුවෝ. මහනුවර පාරවල්වලට ඉපැරණි නම්වැටුණු හැටි වගේ විස්තර පොතක ලියන්නත් උන් වහන්සේට උවමනාව තිබුණා. උන් වහන්සේ අපවත්විමට පෙර අප සමඟ කළ විස්තරය අනුව පැරැණි වැවේ එක් මායිමක් තමයි වර්තමානයේ කැප්පෙටිපොල ශාලාව අසළ ඇත්තේ.
ගණදෙවි කෝවිල (සෙල්ව විනායගර් කෝවිල) පිටුපස පැරැණි වැවේ කෙළවර තවත් ස්‌වභාවික පැරැණි නාන තොටුපල හා පොකුණක් තිබී ඇත. ගණදෙවි කෝවිල ළඟ පැරණි වැව පාර කියලත් හදුන්වනවා. දෙයියන්නේවෙල, මුල්ගම්පල, ගැටඹේ කඹුරුයායවල් වලට වතුර අරන් තියෙන්නෙත් ඉපැරණි බෝගම්බර වැවෙන් තමයි.