August 3, 2024

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සෝභාමත් කරන හස්ථිරාජයින් ඇතුළු ගජ පිරිවර උදෙස‍ා අලංකාර හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම 2024 අගෝස්තු 03 වන දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය.

අගෝස්තු 10 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය සයවෙනි වතාවටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් බණ්ඩාරමුල්ල ඒ.පී. සමරසූරිය මැතිතුමා ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී. තුන්වෙනි කුඹල් පෙරහර සඳහා ඔස්ට්‍රේලියාවේ පදිංචි අකිල කලූපහන මැතිතුමා සහ සචිනි කලූපහන මැතිතුමිය විසින් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරන ලදී.

සිව්වන කුඹල් පෙරහර සඳහා ඇත් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරනු ලැබුවේ අපේ බතික් පුද්ගලික ආයතනයේ චානක මධුභාෂණ මැතිතුමා සහ මහනුවර හැටන් නැෂනල් බැංකුවේ දමිත් පල්ලෙවත්ත මැතිතුමා විසින්ය. අවසන් කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පරිත්‍යාග කරනු ලැබුවේ කුරුණෑගල ඩී.ජී. ජයසිංහ මැතිතුමා විසිනි.
පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා මහනුවර සෞම්‍යා හේරත් මැතිතුමිය සිව්වෙනි වරටත්, දෙවන රන්දෝලි පෙරහර සඳහා කොළඹ 05 චතුරිකා විජේතුංග මැතිතුමිය සහ රූපිකා කොස්තා මැතිතුමිය තුන්වෙනි වරටත්, තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් කිරිඳිවැල්ල ආර්.ඩී. සමරසිංහ මැතිතුමා විසින් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරන ලදී.

සිව්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් ‍ජයසංඛ මුතුරංවෙල හෝල්ඩිංස් හි ජයසංක මුතුරංවෙල මැතිතුමා සහ ශාමක අබේරත්න මැතිතුමා විසින් ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, අවසන් මහ රන්දෝලි පෙරහර වෙනුවෙන් 30 වෙනි වතාවටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) සභාපති, ප්‍රධාන විධායක නිලධාරී තුසිත විජේසේන මැතිතුමා විසින් මංගල හස්ථිරාජයින් සඳහා ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී.

දහවල් පෙරහරේ මංගල හස්ථියා වෙනුවෙන් සිව්වෙනි වරටත් රත්මලානේ සසන්කා අල්විස් මැතිණිය විසින් ඇත් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරන ලදී.
මීට අමතරව මාධ්‍යවේදිනී දිනූෂා රාජපතිරණ, මහනුවර නයනි අපෝන්සු, රත්මලානේ ප්‍රදීප් ජයසේකර, රාජගිරියේ ලක්ෂාන් රණවක, මහනුවර කමනි ඒකනායක, පොල්ගස්ඹ්විට චරිත් ඇල්විටිගල, සළුසල ආයතනයේ ‍ඉන්ද්‍රජිත් පෙරේ‍රා, SL EleFreinds Foundation හී සමීර ලක්ෂාන්, මීගමුවේ බෙලින්ඩා ප්‍රන‍ාන්දු, සීදුවේ කළණ විදුරංග, කොළඹ 05 සචිනි විලියම් හා චමින්ද විලියම්, අවිස්සාවේල්ලේ ගිම්හාන් රශින්ත, පාදුක්කේ ආර්. ඒ. කේ පුෂ්පකුමාර, පිටකෝට්ටේ නිමාත්‍රි දන්දෙනිය හා නිලේෂ් දන්දෙනිය, පන්නිපිටියේ අරුණි උත්පලා, ගනේමුල්ල බානු ගනේගම, අම්බලංගොඩ හර්ෂා ආරියරත්න,
වතුගෙදර ගිෂාන් නිලංග ද සිල්වා, ගෙලිඔය සුධර්මා පෙරේරා,
මහනුවර එෆ්. ෆරීඩා යන මහත්ම මහත්මීන් විසින් පෙරමුණේ ඇතා, දෙවන ඇතා සහ අනෙකුත් අලි ඇතුන්ගේ ඇඳුම් පිරිනමන ලදි.

Share With