ගිහි සමාජය නැකැත් මුල් කර ගෙන පවත්වාගෙන යන්නා වූ අවුරුදු මංගල්ලය, දළදා හාමුදුරුවන් උදෙසා ද පවත්වයි. ඊට අනුව දළදා මාලිගාවේ දී ද අලුත් අවුරුදු මංගල්ලයක් පැවැත් වේ. දළදා මාලිගාවේ නැකන් මොහෙට්ටාල අදාළ නැකත් සියල්ල පිළියෙල කර දෙයි. ඊට අනුව දළදා මාලිගාවේ මෙන්ම සෙසු විහාර දේවාලවල අවුරුදු චාරිත්‍ර ඉටු කරනුයේ එම නැකත් පදනම් කර ගෙන ය. ඒ හෙයින් දළදා මාලිගාවේ දී අනුගමනය කරන්නා වු චාරිත්‍ර ප්‍රධාන අංග පහකින් යුක්ත ය. එනම් අලුත් අවුරුදු උදාව, කණ්ඨස්නානය, කිරි ඉතුරුම් මංගල්ලය, මුළුතැන් පිළියෙල කිරීම හා පූජා කිරීම සහ නානුමුර මංගල්ලය ඊට අදාළ ය. දළදා හාමුදුරුවන්ට මුළුතැන් දානය පිළියෙල කිරීම හා ඒවා පූජා කිරීම දෛනික වතාවත් අනුව සිදුවන්නකි. අලුත් අවුරුදු උදාවත් සමඟ එළඹෙන ආසන්නම බදාදා දිනයේ නානුමුර මංගල්ලය පැවැත් වේ. එය ද දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා නානුමුර මංගල්ලයන් පවත්වන පිළිවෙළට ය. ඒ හෙයින් නාථ දේවාල භූමියේ දී නානු බෙදා දීම සිදු වේ. රටට දැයට හිතැති ව අලුත් අවුරුද්ද උදාවීම දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදයක් ලෙස පිළිගැනේ.