ජූලි 26, 2025

ලොවක දෑස් සිරිලකට යොමු කළ කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ශ්‍රී විභූතිය වඩාත් විදහාපාන අලි ඇතුන් පිරිවර උදෙස‍ා වන හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම 2025 ජූලි 25 දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ උපදේශකත්වයෙන් මහනුවර පෙරහර සම්ප්‍රදාය හා බැඳුනු පෞරාණික විචිත්‍රවත් බව සුරකිමින්, උසස් නිර්මාණ ශෛලියක් අන්තර්ගතවන ලෙසින් නිමවුම් කළ මේ හස්ථි වස්ත්‍ර වෙනුවෙන් කැප වූ සැමට ශ්‍රී දළදා මාලිගාවේ ගෞරවනීය ප්‍රණාමය යි.

ජූලි 30 ‍වෙනි දා සිට ඇරඹෙන 2025 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහරේ වඩම්මන හස්ථිරාජයා හා දෑලේ ඇතුන් වෙනුවෙන් වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය හත්වෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර දෙවන කුඹල් පෙරහර වෙනුවෙන් මහනුවර සෞම්‍යා හේරත් මහත්මිය විසින් පස්වෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී. තුන්වෙනි කුඹල් පෙරහර සඳහා මිරිහාන ලහිරු අසංග ශ්‍රීනායක මහතා විසින් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරන ලදී.

සිව්වන කුඹල් පෙරහර සඳහා දෙවෙනි වරටත් ඇත් ඇඳුම් කට්ටලය පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර දිනූෂා රාජපතිරණ මහත්මිය විසිනි. අවසන් කුඹල් පෙරහර සඳහා දෙවෙනි වරටත් ඇත් ඇඳුම් පරිත්‍යාගය සිදු කරනු ලැබුවේ කුරුණෑගල ඩී.ජී. ජයසිංහ මහතා විසිනි.

පළමු රන්දෝලි පෙරහරේ මංගල හස්ථිරාජයින් සඳහා මත්තේගොඩ එරන්ද කොළඹගේ සහ එල්. ඒ. ගයාශාන්ත යන මහත්වරුන්, දෙවන රන්දෝලි පෙරහර සඳහා වැලිගම්පිටිය ප්‍රසාද් සිරිවර්ධන මහතා ද, තුන්වන රන්දෝලි පෙරහර වෙනුවෙන් කොළඹ ජයසංඛ මුතුරංවෙල සහ ප්‍රසාද් බුද්ධික අතාවුද යන මහත්වරුන් විසින් ඇඳුම් කට්ටල පරිත්‍යාග කරන ලදී.

සිව්වෙනි රන්දෝලි පෙරහර වෙනුවෙන් කොළඹ ‍සරසි අත්තනගොඩ මහත්මිය විසින් ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, අවසන් මහ රන්දෝලි පෙරහර වෙනුවෙන් තිස්එක් වෙනි වරටත් කැන්ඩි සිටි සෙන්ටර් හි (KCC) සභාපති, ප්‍රධාන විධායක නිලධාරී තුසිත විජේසේන මහතා විසින් වඩම්මන හස්ථිරාජයා හා දෑලේ ඇතුන් වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී.
දහවල් පෙරහරේ මංගල හස්ථියා සහ දෑලේ ඇතුන් වෙනුවෙන් පස්වෙනි වරටත් රත්මලානේ සසන්කා අල්විස් මහත්මිය විසින් ඇත් ඇඳුම් පරිත්‍යාග කරන ලදී.

මීට අමතරව ගෙලිඹය සුධර්මා පෙරේරා, කිරිබත්කුඹුර නයනි අපොන්සු සහ කෝසල අපොන්සු, මහරගම ජිනාලි මංචනායක සහ පුබුදු රත්නසිරි, දොඩන්වේ ශෙහානි නානායක්කාර, මොරටුවේ ප්‍රභාත් ආදිත්‍ය විජේසූරිය සහ ලසිත ඒකනායක, කන්තලේ චනුක ලෙෂාන් කරුණාරත්න, කිරිබත්කුඹුරේ කසුන් කුමාර දිසානායක, හල්ඔලුව ශෂිනි අල්විස්, රාජගිරියේ ලක්ෂාන් රණවක, මාවිල්මඩ ලෝචනා රොද්‍රිගෝ, පොල්ගස්ඹ්විට චරිත් ඇල්විටිගල, සලුසල ආයතනයේ ඩෙන්සිල් ඉන්ද්‍රජිත් පෙරේරා, අම්බලංගොඩ හර්ෂා ආරියරත්න, පානදුරේ ගීතිකා අබේරත්න, සීදුවේ කළණ විදුරංග, කොළඹ සචිනි විලියම් සහ චමින්ද විලියම්, පිටකෝට්ටේ චතුරිකා විජේතුංග සහ රූපිකා කොස්තා, අවිස්සාවේල්ල ගිම්හාන් රශින්ත, පිටකෝට්ටේ නිලේෂ් දන්දෙනිය සහ නිමාත‍්‍රි දන්දෙනිය, පන්නිපිටියේ අරුණි උත්පලා දිසානායක, තල්ගස්ගොඩ රුශාන් සන්කේශ්, මත්තේගොඩ මධුෂිකා අල්විස් වීරක්කොඩි, ගනේමුල්ලේ ජේ.එම්. තිළිණි, අම්බලංගොඩ නිහාල් ප්‍රියශාන්ත, වතුගෙදර ගිෂාන් මිලංග ද සිල්වා, ගනේමුල්ලේ වෛද්‍ය අශාන් ලංකා හේවාගම, මහනුවර එෆ්. ෆරීඩා, මහනුවර ඉඳුවර පෙරේරා, මහනුවර කේ.ඞී. සිල්වා, රාජගිරියේ දිනූක රංගන ජයවර්ධන, මීගමුවේ එම්.ජී. ගුණවතී යන මහත්ම මහත්මීන් විසින් අනෙකුත් සියළු අලි ඇතුන්ගේ හස්ථි වස්ත්‍ර පිරිනමන ලදි. සිව්වෙනි රන්දෝලි පෙරහර, අවසන් මහ රන්දෝලි පෙරහර සහ දහවහ් පෙරහර වෙනුවෙන් පානදුරේ සාගරිකා තිරිමාන්න මහත්මිය විසින් සධාතුක කරඬු වහන්සේගේ මල් ලියකම් කළ උඩු වියන පරිත්‍යාග කරනු ලබයි.

Share With