ஜூலை 31, 2026

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදු කෙරෙන දෛනික තේවා කටයුතු පෞරාණික චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශ්වයේ සිට අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම 2026 ජූලි 30 වන දින සිදු කෙරිණි. ඒ මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වැඩම වීමෙනි.

සෑම වසරකම ඇසළ පසළොස්වක පොහෝ දිනට පසුදින සිදු කෙරෙන මේ සාම්ප්‍රදායික කාර්යය වෙනුවෙන් මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය අතිගෞරවාර්හ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා, තේවා කටයුතු භාර ගරුතර මහා සංඝරත්නය, දියවඩන නිලමේතුමා ඇතුළු තේවා රාජකාරි කටයුතු සිදුකරන සියලුදෙනා සහභාගි වෙති.

පසුගිය වසරක කාලය තුළ දළදා වහන්සේ උදෙසා තේවාව මල්වතු මහා විහාර පාර්ශ්වය විසින් සිදු කරන ලද අතර, අද පස්වරුවේ සිදු වූ මෙම තේවා මාරුවෙන් අනතුරුව ඉදිරි වසරක කාලය පුරාවට ශ්‍රී දළදා සමිඳුන් උදෙසා තේවා කටයුතු ඉටු කිරීමේ වගකීම අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත හිමි වේ.

Share With