நவம்பர் 7, 2025

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකරු වන දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ නිළ ඡන්දය විමසීම අද එනම් 2025 නොවැම්බර් 7 වන දින මහනුවර එක්සත් බෞද්ධ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ප.ව 2 පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අපේක්ෂකයින් 7 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර ඡන්දය ප්‍රකාශකිරීම සඳහා 362 දෙනෙක් සුදුසුකම් ලබා ඇත. 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥාපනත ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මේ සඳහා ප්‍රතිපාදන හිමිව තිබේ. ඒ අනුව මෙවර ශ්‍රී දළදා මාලිගාවේ 20 වන දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම සඳහා අතිපූජ්‍ය මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු ඇතුළු උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක 16 ක රජමහා විහාර 157 ක භාරකාර හිමිවරු සහ ප්‍රාදේශිය ලේකම්වරු 170 ක් මෙන්ම බස්නායක නිළමේවරු 31 ක් ද,විහාර හා දේවාලවල ගිහි භාරකරුවන් 4 දෙනෙකු ඇතුළු පිරිසක් ඡන්දය ප්‍රකාශ කෙරේ.

දියවඩන නිළමේ තනතුර සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් වන්නේ ප්‍රදීප් නිලංග දෑල, රොෂාන් ප්‍රියදර්ශණ, නන්ද මඩුගල්ලේ, තිලක් සුබසිංහ, ගාමිණී කලුහැන්දිවල, ඒ. ඩබ්. එස්. බණ්ඩාරනායක, දමින්ද බණ්ඩාර උඩුරාවන යන මහත්වරුන්ය.

Share With