දළදා සමිඳුන් වහන්සේ ප්රමුඛ කොට ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය සේවය ලබාදුන් රාජකාරීකරුවන්, විවිධ මට්ටමේ වෘතිකයන්, කලා ශිල්පීන් ඇතුළු හාරසියයකට ආසන්න පිරිස වෙත දශක දෙකකට වැඩි කාලයක් ඉටු කළ මෙහෙවරට ප්රණාම පුද කිරීමේ “මෙහෙවරට බුහුමන්” ශ්‍රී දළදා මාලිගාවේ සේවක ප්රණාම උළෙල මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හී අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා හා අනුනායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද ඇතිව 2026 ජනවාරි 23 වන දින පස්වරුවේ ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
වසර විස්සකට වඩා වැඩි කාලයක් ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය සේවය ලබාදුන් ශ්‍රී දළදා මාලිගාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින්, පෙරහර මංගල්ලය හා විවිධ සංස්කෘතිකාංග වෙත සම්බන්ධ ශිල්පීන්, අලි – ඇතුන් හිමිකරුවන්, ඇත්ගොව්වන් ඇතුළු විවිධ මට්ටමෙන් ශ්‍රී දළදා මාලිගාව හා ඊට සම්බන්ධ පිරිස් මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තම ජීවිතයේ දිගු කාලයක් දළදා හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් කැප වී, සේවය ලබා දෙමින් ඉටුකළ මෙහෙය අගයමින් මෙවැන්නක් සංවිධානය වූයේ ශ්‍රී දළදා මාලිගාව ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.