Skip to content Skip to footer
තව දින

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලය

 

සෙංකඩගල රාජධානියේ වඩා හිඳුවන ලද දන්ත ධාතුන්වහන්සේ දිවමන් බුදු හිමියන් ලෙස සත්කාර පිදුම් ලබති. ඒ හෙයින් දෛනික සත්තායික හා වාර්ෂික දළදා පූජා පිළිවෙත් අතර දළදා පෙරහර ඇසළ මාසයේ පැවැත්වෙන හෙළයේ මහා පෙරහර මංගල්‍යය ලෙස දිව්‍ය සැලකිලි ලබන්නාහ. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සෙසු උත්තම ධාතුන් වහන්සේලා අතර සතර දළදා වහන්සේලා ඉතිරි වූ වග දීඝ නිකායේ, මහා පරිනිබ්බාන සූත්‍රය තතු හෙළි කර ඇත්තාහ. පන්සාලිස් වසක් පුරා ශ්‍රී සද්ධර්මයේ පහසලත් යටිහනුවේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හෙළදිවට වැඩම කළේ ත්‍රීසිංහල ජනයාගේ සංසාර වාසනා මහිමයකටම වන්නේය. කාලිංග දේශයෙන් මුටසීව රජ දවස ඇති වූ අරාජික පසුබිම නිසා දන්ත ධාතුන් වහන්සේගේ රැකවරණය පිණිස හේමමාලාවන් ද දන්ත කුමරුවන් ද එවකට ලක්දිව භූපති වූ කිත්සිරිමෙවන් රජ දවස මෙකී සුදුර්ලභ පරම නිදානය මේ දෙරණට රැගෙන එන ලද්දාහ. කිතු වසින් 328 දී සිදු වූ මේ අසිරිමත් සිදුවීම නිසා පළමුව, ඉසුරුමුණිය විහාරයේ වඩා හිඳුවන ලද දන්ත ධාතූන් වහන්සේට පිළිවෙත් පිරීමට කිත්සිරිමෙවන් රජු දළදා පෙරහර පැවැත් විය. එහිදී මහත් සිරියක් මවා තිබේ. ඒ අසිරියෙන් උදම් වූ කිත්සිරිමෙවන් රජු ද රටවැසියන් ද කලට වැසි පතා කෙත් වතු සාර වේවායි යන ප්‍රාර්ථනයෙන් වාර්ෂිකව අනුරාධපුර රාජධානියේ දළදා පෙරහර පවත්වා තිබේ. ශ්‍රී දළදා වහන්සේ මෙලෙස පෙරහරින් වීදිසරණ පෙරහර මංගල්‍යයට පසුබිම සැකසුණේ එපරිද්දෙනි. මේ හේතුවෙන් මෙරට භූපති කෙසේ හිස කිරුළු දැරුව ද කලට වැසි වැස්ස වීම හා කෙත්වතු සස්ශ්‍රීක කිරීමේ මහානුභාව සම්පන්න ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ උරුම හිමිකම් නොමැති නම් ස්වාධිපති බලය නොමැති රජකු ලෙස රටවැසි සරදමට ලක්විය.

අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සීතාවක හා මහනුවර රාජධානි සමයේ දළදා පෙරහර පවත්වා දළදා උරුමය රටවැසියන්ට පෙන්වූ අතර සියළු පිළිවෙත් විදි නොපිරිහෙලා ඉටුකරන ලදී.

 

පළමුවන විමලධර්මසූරිය රජු කිරීටය හිස දැරූව ද දළදා වහන්සේගේ උරුම හිමිකම නොමැති වූ හෙයින් රට වැසියන් අතර හෙළයේ සැබෑ රජ ලෙස තහවුරු වීමට අසමත් වූවෙකි. බැවින් ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල රාජ්‍යය වෙත වඩමවා ගැනීමට මහත් ආයාස ගත්තේය. ඒ වනවිට දෙවනගල රතනාලංකාර හිමිපාණන්ගේ ආරක්ෂාව යටතේ දන්ත ධාතූන් වහන්සේ සබරගමුව දෙල්ගමුව මහා විහාරයේ සිට ඌව පළාත හරහා රහසිගතව මහනුවරට වැඩම කළ අතර පළමු දින මහනුවර ගෙඩිගේ විහාරයේ වඩා හිඳුවන ලදී.

 

එදා රජ මාලිගා භූමියට වැඩම වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා දළදා ප්‍රාසාදයක් නැංවූ වග දළදා වංශකථාවෝ පහදති. කන්ද උඩරට ශ්‍රී දළදා මන්දිරය බිහි වූයේ එහි ඵලය ලෙසය. ක්‍රි.ව 1815 දී රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්වන තෙක් රාජ්‍ය සත්කාර ලද ශ්‍රී දළදා පෙරහර මහා මංගල්‍යය ඇසළ මස පැවැත්වීය. එවකට, භූපති අහිමි කළ රාජ්‍යයේ අධිරාජ්‍යවාදීන්ගේ නියෝගය පරිදි දියවඩන නිලමේතුමෙකුගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමේ හා දළදා සම්ප්‍රදායන් අනුවරථව පවත්වාගෙන යාමේ අවකාශ සැලසෙන්නේ ය. බොදු බැතියත් – කරුණා රසයක් මුල්කරගෙන දළදා පෙරහර සම්ප්‍රදාය දේවාල පිළිවෙත් හා තදානුබද්ධ වූයේ මනුදම් මුල් කර ගනිමිනි. මනෝරම්‍ය පෙරහරක වීදිසරණ ජීවමාන බුදු හිමියන්ට දෙව්දනන්ද – මනුදනන්ද අලි ඇතුන් ද බැතිබර වන ලොව එකම අසිරිමත් පෙරහර මංගල්‍යය ඓතිහාසික කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහරමයි.

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්ලය 2020

කාලසටහන

2020 ජූලි 21

කප් සිටුවීම

  • 02.26 A.M

2020 ජූලි 25

පළමු කුඹල් පෙරහැර

  • 02.26 A.M

2020 ජූලි 26

දෙවන කුඹල් පෙරහැර

  • 06.44 P.M

2020 ජූලි 27

තෙවන කුඹල් පෙරහැර

  • 07.01 P.M

2020 ජූලි 28

සිව්වන කුඹල් පෙරහැර

  • 07.02 P.M

2020 ජූලි 29

පස්වන කුඹල් පෙරහැර

  • 07.13 P.M

2020 ජූලි 30

පළමු රන්දෝලි පෙරහැර

  • 06.49 P.M

2020 ජූලි 31

දෙවන රන්දෝලි පෙරහැර

  • 08.10 P.M

2020 අගෝස්තු 1

තෙවන රන්දෝලි පෙරහැර

  • 06.41 P.M

2020 අගෝස්තු 2

සිව්වන රන්දෝලි පෙරහැර

  • 06.37 P.M

2020 අගෝස්තු 3

අවසන් රන්දෝලි පෙරහැර

  • 07.14 P.M

2020 අගෝස්තු 4

දහවල් පෙරහැර

  • 10.15 A.M

බෙදා ගන්න

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email
Translate »