අසිරිමත් ඇසළ පෙරහර මංගල්ලය

  • Sharebar

ඇසළ පෙරහර මංගල්ලය 2017 දින වකවානු

පළමු කුඔල් පෙරහර 2017 ජුලි 29 වනදා 
‍දෙවන කුඔල් පෙරහර 2017 ජුලි 30 වනදා 
‍තුන්වන කුඔල් පෙරහර 2017 ජුලි 31 වනදා
‍හතරවන කුඔල් පෙරහර 2017 අගෝස්තු 01 වනදා
පස්වන කුඔල් පෙරහර 2017 අගෝස්තු 02 වනදා
පළමු රන්දෝලී පෙරහර 2017 අගෝස්තු 03 වනදා
දෙවන රන්දෝලී පෙරහර 2017 අගෝස්තු 04 වනදා
තුන්වන රන්දෝලී පෙරහර 2017 අගෝස්තු 05 වනදා
හතරවන රන්දෝලී පෙරහර 2017 අගෝස්තු 06 වනදා
පස්වන රන්දෝලී පෙරහර 2017 අගෝස්තු 07 වනදා
දවල් පෙරහර 2017 අගෝස්තු 08 වනදා

 

ඇසළ පෙරහර මංගල්ලය
 
පාලි පරිහාර ශබ්දාර්ථයෙන් බිඳීවිත් සිංහල භාෂා ව්‍යවහාරයෙහි එන පෙරහැර යන්නෙහි භාවිත වචනාර්ථ කීපයෙක්ම දක්නට ලැබේ. ඉන් බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ හා සෙසු උත්තමයන් උදෙසාත් දළදා වහන්සේ වැනි පුජ්‍ය වස්තුන් විෂයෙහිත් ගෞරව පුද සත්කාරය පිණිස කස කරුවන්, කොඩි සේසත් ගත්තවුන්, නැට්ටුවන්, පංච තූර්ය වාදකයන්, අලි ඇතුන්, ආදීන් පෙළට යෑම අර්ථ ගැන්වී දළදා වහන්සේ විෂයෙහි පූජෝපාහාර පිණිස පෙළට යාම දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර නමින් ප්‍රකටව පවති.
 
 
 
දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්ලයකි. මෙකි පෙරහැර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන අයුරු රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. නියෝග කළේය යන්නෙන් එය සනාථ වෙයි. පාහියංගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ තුන් වන මස මැදදී දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක.
 
 
 
තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක....... අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහැර සංවිධානය වු ආකාරය කියවෙයි.
 
 
 
මෙසේ අනුරපුර කිත්සිරිමෙවන් මහ රජුගේ පටන් ලක්දිව සියඵ රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවන්හි හැර, අන් හැම විටම, දළදා පෙරහැර මනාසේ බැතියෙන් පැවැත්වූහ. පොළොන්නරු සමයේ මහා පරාක්‍රබාහු රජු විසින් ද යටකී පරිදි මහා වංශයේ සඳහන් වන අයුරු රජ ගෙදර පටන් යොදනක් තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලූ සතුන්ගේ වැඩෙහි ඇලුනේ හැම තැන්හි සිතියම් දරන්නා වු ලෝකානන්ද හේතු වු තොරන් කරවා තොරන් යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පෙරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරන් ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍රචාමර පන්තීන් හා නානා පුෂ්ප කලාපයන් ද, විසිතුරු කොඩියෙන් ද, පුජාවට සුදුසු අන්‍යවු දෙයින් ද සරසා මාර්ගයාගේ උභය පාර්ශවයත් පළදරන තැඹිලි, කෙසෙල්, පුවක් පොල් ගස් ආදියෙන් හොබවාම නාමල් කළසින් හා පුන් කළසින් ද සරසවා ත්‍රීදශේන්ද්‍රයාගේ සුදුසුන් වෙය සෙයින් මාර්ගාමාර්ග දෙක්හි විචක්‍ෂණ වු රජතෙමේ මාර්ගයන් අලංකාර කරවා දළදා ගෙදොර මාලකයන් අලකා නුවර සේ සත් පුරුෂයන් සතුටු කිරීමෙහි හැකි වු චතුර රජතෙමේ ජනයන් පිනවමින් නොයෙක් පහන් දහසුන්ගේ අලූයෙන් හාත්පස සියළු දිගුන් හා එසේම විදිසාවෙන් එකළුකොට ඡත්‍රචාමර පන්තීන් ද, විචිත්‍රධජ පන්තීන් ද, නානා වර්ග පතාකාදියෙන් ද, සියලූ අහස් කුස වසමින් ඇතුන්ගේ කුංචනාදයෙන් ද, අසුන්ගේ හේසා රාවයෙන් ද, රථයන්ගේ චක්‍රනාදයෙන් ද, භෙරීන්ගේ භාන්ධාකාරයෙන් ද, සියලූ මංගල සංඛයන්ගේ මනෝහර ශබ්දයෙන් ද, කාහලයන්ගේ ශබ්දයෙන් ද, වන්දීන්ගේ ජය ඝෝෂාවෙන් ද, සාදුකාර ධ්වනියෙන් ද, සියලූ දිගුන් දොඩමලූ කෙරමින් මිහිපල් තෙමේ සර්වාභරණයෙන් විභුෂිත වු රුන්සැක් ආදියෙන් සැදුම් ලද ප්‍රවර ශෝභා ඇති ඇතකු නැඟී නොයෙක් එකල්හි ඒ මහා මේඝය තෙමේ උත්සව ස්ථානයෙන් බැහැර වැසි දහරින් ගංවතුර ඇත්තේ හැම තැන්හි වැව් පුරවමින් යටකී පරිදි පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජු සමයේ පැවති ඇසළ පෙරහැර මංගල්ලය අනුරපුර පැවති ඇසළ පෙරහැර මංගල්ලයටත් වඩා විචිතක්‍රව පැවැත් වූ බව මැනවින් ස්ථුට වේ.
 
 
 
එම විස්තරයට අනුව සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයා ද මහත් රූප ශෝභාවෙන් යුතු වූ නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, ජත්‍ර, චාමර, ධජ පතකාදිය රැුගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේය. වැව් පිරී යන තරමට වර්ෂාව ද පතිත විය. දඹදෙණි රාජධානියෙහි දෙවන පරාක්‍රමබාහු රජු දවස ද මේ හා සමව පෙරහැර පැවති අයුරු වංශකතාවන්ගෙන් හෙළිවේ. එහිදී තෙමසක් පුරා උත්සව පැවැත්වු බව ද කියවේ. දළදා වහන්සේ වැඩ සිටි සෑම රාජධානියකම පාහේ ඇසළ පෙරහැර පැවැත් වූ බව සිතා ගත හැකිය.
 
 
 
ඒ අනුව යාපහුව රාජධානියේ ද ඇසළ පෙරහැර අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කොඩි සේසත් චාමර සහිතව වීදි සංචාරය කළ බව කියවේ. කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස නගරය දෙවිපුරයක් සේ සරහා උතුරුඵමුඵ අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සම`ග වැඩහුන් කරඩුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරව වඩා යන ලෙස රථයට නැගෙනුව ඉසා, සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වඩනාව ඉසා දොරනා වැසි කුලයෙන් නිසි එකකු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්වනුව ඉසා, රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරනුව ඉසා, දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් යනුව ඉසා, යනුවෙන් දළදා සිරිත නමැති පොතෙහි සඳහන් ව්‍යවස්ථාවන්ට අනුව එවකට පෙරහැර පැවති ආකාරය දත හැකිය. දළදා සිරිතෙහි එන චාරිත්‍ර බොහෝමයක් අඛණ්ඩව අද දක්වාත් පැවතගෙන එයි.
 
 
 
කුරුණෑගල රාජධානියේ සිට ගඟසිරිපුර රාජධානියටත්, එතැන් සිට කෝට්ටේ රාජධානියටත්, ඉන් අනතුරුව සිතාවක රාජධානියේ දෙල්ගමුව රජමහා විහාරයටත්, දළදා වහන්සේ වැඩමවු බව වංශකතාවල සඳහන් වේ. එකි රාජධානින් තුළ ද චිරාගත සාම්ප්‍රදායානුකුලව ඇසළ පෙරහැර මංගල්ලය පැවැත්වු බව අනාවරණය වේ.1592 පළමු වන විමලධර්මසුරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ද ඇසළ පෙරහැර මංගල්ලය පවත්වාගෙන ආ බව සලකා ගත හැකිය. මහනුවර යුගයෙහි දෙවන රාජසිංහ රජු දවස සිරකරුවකුව සිටි රොබට් නොක්ස් දුටු පෙරහැරේ ඉදිරියෙන් කපුරාල කෙනෙකු පට පිළියෙන් ඔතා සරසන ලද ලීයක් කරතබා ගෙන මුඛවාඩම් බැද හස්තියකු පිට නැගි වීදි සංචාරය කොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත්, විස්තර වේ. ඇත්තු 40 ක් පමණ ද, බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් දල නැට්ටුවෝ ද, මේ පෙරහැරේ ගමන් කළහ. ඔහුගේ විස්තරයට අනුව එම පෙරහැර දෙවියන්ට කැපවූවක් බව පෙනේ. මෙම කාලපරිච්ෙඡ්දය වන විට ඇසළ පෙරහැර දේවියන්ට පුජෝපහාරය පිණිස පැවති සිව්මහා දේවාලයේ පෙරහැර වශයෙන් පැවැත්වුන බව අණාවරනය වේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව 1747 - 1781) දවස ක්‍රි.ව 1753 දී දළදා පෙරහැර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළවෙලට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහැර මංගල්ලය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහැර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුකුලව ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට පැවැත්වේ.
 
 
 
ජෝන් ඬේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහැර විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හදුනාගැනීම සඳහා අදාල කොඩි සහිතව ද, ඇතුන් අසුන් ගණනාවක් ද, විවිධ කොඩි චාමර දරන්නෝ ද, රජයේ නිලධාරිහු ද, කඩු ගත්තෝ ද, පලස් දරන්නෝ ද, හෙල්ල දරන්නෝ ද, කොඩි කස්තාන දරන්නෝ ද, විදේශිකයෝ ද, නොයෙක් භාෂාවන්හි නිපුණයෝ ද, ශිල්පීහු ද, ස්ත්‍රීහු ද, ගමන් කළහ. අනතුරුව මහා ජනයා ද ගමන් ගත්හ. මෙම පෙරහැරේ රජතුමා ද මහත් තේජසින් ගමන් ගත්තේය. මෙසේ පෙරහැර නගරය ප්‍රදක්ෂිණා කළ අතර ධාතු කරඬුව සරසා මල්වැසි වැස්සවීය. රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රදලවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරීහු තමනට ඇති උසස්ම ඇඳුමින් සැරසී තමන්ට වෙන්වූ කොඩිය ද රැගෙන සිටිති. රිදී යෂ්ටිය රැගත් අදිකාරම්වරු දෙදෙනා ද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේ ද පැමිණිමෙන් අනතුරුව, රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රසස්ති ගායනා ආරම්භ විය. රජු මහදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේදැයි විමසයි. අදිකාරම්වරයා ඒ වග දැන්වු පසු රජුගේ නියමයෙන් පෙරහැර ආරම්භ වේ. වෙල්ලස්සේ දිසාව හා ජෝන් ඬේව් දුටු පෙරහැරේ අනුපිළිවෙල මෙසේ වු බව මුලාශ්‍රයන්හි දැක්වේ.
 
 
 
 
 
කප් සිටුවීමේ මංගල්ලය යනු
 
***********************************
 
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුභ මුහුර්තියෙන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්ලය සිදුකිරීමයි.
 
කප යනු ‘කණුව’ හෙවත් ‘කැප කිරීම’ යන තේරුම ගෙන‍ දෙන වචනයකි. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේ දී මුල් ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයකි. එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ කිසියම් උපද්‍රවයක් නොමැතිව පෙරහරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට දේවාශිර්වාදය ලබාගැනීමයි. එහි ඇති වැදගත්කම නිසාම කප සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැඟී ඇති බව පෙනේ.
 
කප සිටුවීමේ චාරිත්‍ර ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හිය. එය දළදා මාළිගාව හා සම්බන්ධිත චාරිත්‍රයක් නොවේ. මෙම චාරිත්‍රයෙහි මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප බෙදාදීම මුල් කාලයෙහි දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහදේවාලයටයි.
 
මහනුවර මහදේවාල‍ය හෙවත් විෂ්ණු දේවාලය ගොඩනැඟුනාට පසු කප සූදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී ඇත. කප සඳහා තෝරාගැනෙනුයේ නැ‍ඟෙනහිර දිශාභිමුඛව සිරිත් ‍පරිදි පේකොට තබන පණස වෘක්ෂයේ ශාඛාවකි‍. බොහෝවිට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයකි. වියත් තුනක පමණ ළපටි, පුරුෂ ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා, බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුනු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැ‍ඟෙනහිරට වැටෙන සේ ගස කපා හෙළයි. ඉන් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබයි. ඉක්බිති සුදු පිරුවටයකින් ‘කප’ ඔතා ස්වකීය‍ දේවාලයට පෙරහරකින් රැගෙන ගොස් සුභ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයෙක වටතිර බඳවා, උඩු වියන් යොදවා, මනාව සරසා, කණින ලද කුඩා ‍වළෙක සුභ නැකතින් ‘කප’ තැන්පත් කරනු ලබයි.
 
අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා, පහන් තුනක් දල්වා තබයි. පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමයි. ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියා පිදීම එක් අරමුණෙකි. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇති වන ලෙස ප්‍රාර්ථනා කෙරේ. ඒ ඒ දේවාල වල කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වයි. පැරණියේ දී මහනුවර අවට දෙමාපියන්, ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබූයේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහරයි. එය නෑඹුල් පෙරහරක් වශයෙන් සැලකිණ. එම‍ පෙරහර පෙන්වීමෙන් වස් දොස් නැති වන බවට විශ්වාස කෙරිණ‍. මෙසේ දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පැවත්වා, ‘කප’ දියකැපුම් මංගල්ලයේ දී ගැටඹේ තොටට ගෙන ගොස් දිය කපන දියඹෙහි, පා කර යවනු ලබයි.
 
 
 
1. ලේකම් මිටිය පන්හිද සමඟ ලේකම්
 
2. හස්තියා මහ කොඩිය සමඟ ගජනායක නිලමේ
 
3. කොඩි තුවක්කු ලේකම් හා ඔහු පිරිවරාගත් කොඩිතුවක්කු පිරිස හා කොඩිතුවක්කු මහ කොඩිය
 
4. අත් තුවක්කු හා හතර කෝරළේ දිසාවට අයත් කොඩි සහිත නිලධාරින් හා පිරිස- ඉරහඳ මහ කොඩිය
 
5. හත් කෝරළේ වැසියෝ- සිංහයා මහ කොඩිය
 
6. ඌවේ වැසියෝ - හංසයා මහ කොඩිය
 
7. මාතලේ වැසියෝ - සුදු මහ කොඩිය
 
8. සබරගමුවේ වැසියෝ - කහපාට පටරෙදි මහ කොඩිය
 
9. වලපනේ වැසියෝ - මයුර මහ කොඩිය
 
10. උඩපළාතේ වැසියෝ - නෙල්‍රම් මල් මහ කොඩිය
 
11. නුවර කලාවිය - ගජසිංහ මහ කොඩිය
 
12. වෙල්ලස්සේ කොටියා මහ කොඩිය
 
13. බිම්තැන්නේ ගිරවා මහ කොඩිය
 
14. තමන්කඩුව වලහා මහ කොඩිය
 
15. උඩුනුවර යටිනුවර තුම්පනේ. හාරිස්පත්තුව දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩබුලත්ගම, පාත බුලත්ගම යන රටේ මහත්වරු ඇතුළු කොඩි
 
16. රෙදි වලින් ආවරණය කරන ලද උණ ලී කැබලි වලින් තැනු රූප
 
17. කරඩුව රැුගත් මාළිගාවේ ඇතා. ඊට පිටුපසින් සෙසු ඇතුන් පිරවැරු ජනයා
 
18. නායක්කර් ලේකම් නිල්පාට කොඩිය
 
19. අතපත්තු ලේකම් කොඩිය
 
20. වඩන තුවක්කු භාර ලේකම් සුදු පාට කොඩිය
 
21. වෙඩික්කාර ලේකම් රතුපාට කොඩිය
 
22. ධජ පතාක ගෙනයන්නවුන්
 
23. පංචතුර්ය නාදය
 
24. නැට්ටුවන්
 
25. දියවඩන නිලමේ
 
26. සෙසු නිලකරුවෝ
 
27. නාථ දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
 
28. විෂ්ණු දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
 
29. කතරගම දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ
 
30. පත්තිනි දේවාලයේ ඇතා, බෙරකරුවෝ. පිරිවර ජනයා සමග බස්නායක නිලමේ පෙරහැර කොඩිතුවක්කු පත්තු කිරීමෙන් ඇරඹිණ.
 
ඉන් අනතුරුව උස් හඩින් බෙර නලා වාදන ඇසේ. ක්‍රි.ව 1828 වැන්නේ සර් එඞ්වඞ් බාර්න්ස් ආණ්ඩුකාරතුමාගේ සමයේ දී ශ්‍රී දළදා වහන්සේ මහ පෙරහැරින් බැහැරට වැඩම වු බව වාර්තාවේ. ඉන් අනතුරුව අද වනතුරු දළදා වහන්සේ ශ්‍රී දළදා මාලිගාවෙන් බැහැරට වැඩමවු බවක් සඳහන් නොවේ. වර්තමානයේ මංගල හස්තිරාජයා පිට වැඩම වනුයේ සධාතුක ධාතුන් වහන්සේ වැඩසිටින පෙරහැර කරඬුවයි.
 
ඇසළ පෙරහැර මංගල්ලයේ විශේෂාංග විස්තරය
 
1. ආරක්ෂක රථය :- ඇසළ පෙරහැර මංගල්ලයට මෑත ඉතිහාසයේදි එක්වු අංගයකි. පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත් මෙමගින් සිදුවේ.
 
2. කස කරුවන්- පෙරහැරේ මුලින්ම ගමන් ගන්නා කස කරුවන් තම කස සකස් කර ගනුයේ හණ හෙවත් නියඳ පඳුරු තුළින් කපා ගත් හණ පත් ලෑල්ලක බැද හණ පතෙහි මතුපිට ගෑවිට මතුවන නුල් ගෙන වේලා සකස්කර ගැනීමෙනි. අඩි 7 ක් පමණ දිගට අග හීන් වනසේ අඹරා බැඳගන්නා කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වනසේ ලණුවලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් බැද ගැනිම සිරිතය. පැරණියේදි රජදරුවන් බැහැරට ගමන් ගන්නා විට රජු ඉදිරියෙන් කස පුපුරුවමින් යැම සිරිත විය. රජු එන මග ඉඩකඩ සලසා ගැනීමටත්, රජු ලඟ ලඟඑන බව ඇ`ගවීමටත් කස කරුවන් යොදාගන්නා ලදී. එම සිරිත බුද්ධ පුජාමය මංගල්ලයන්හීදි පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා ගැනීමටත්, පෙරහැර ලඟ එන බව සංනිවේදනය කිරීමටත් කස කරුවන් යොදා ගැනීම සිදුවේ. අතිතයේ පෙරහැර පැවැත්වීමේ එක් අරමුණක් වුයේ කලට වැසි ලබාගැනීමය. දළදා කරඩුව දොරට වැඞීමේදී වැස්ස ලැබෙන බවට විශ්වාසයක් පවති. කස පිපිරවීම තුළින් වැස්සට පෙර දසත විහිදෙන විදුලිය කෙටීමේ හඩ හා ස්වරුපය සංකේතවත් කෙරේ.
 
3. ගිනිබෝල කරුවන්- පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ආලෝකමත් කිරීමත් මග හෙලි පෙහෙලි කර දීමත් ලඟ ලඟ එන පෙරහැරෙහි ආකර්ෂණය වර්ධනය කොට නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගෙන පෙරහැර කෙරෙහි යොමු කරවා බුද්ධාලම්බන ප්‍රීතිය දැනවීමත් මෙමගින් සිදුවේ.
 
4. බෞද්ධ කොඩි - මේ ලඟ ලඟ ඉදිරියට ඇදෙන්නේ බෞද්ධ ආගමික පෙරහැරක් බව නිරූපණය කර දක්වයි. මෙහිදී එක් ජාතික කොඩියක් ද රැුගෙන යනු ලැබේ. එමගින් මෙම පෙරහැර ජාතික උත්සවයක් ද වන බව අඟවයි.
 
5. දිසා කොඩිය (රෙදි) - පළමුව හතරකෝරළේ - ඉරහඳ මහ කොඩිය දෙවනුව හත් කෝරළේ සිංහයා මහ කොඩිය ඌවේ හංසයා මහකොඩිය මාතලේ සුදු මහ කොඩිය සබරගමුව කහපාට පටරෙදි මහ කොඩිය තුන් කොරලේ බේරුන්ඩ මහ කොඩිය (දෙහිස් උකුස්සා) වලපනේ මයුර මහ කොඩිය උඩපලාත නෙළුම් මහා කොඩිය නුවර කලාවිය ගජසිංහ මහ කොඩිය වෙල්ලස්සේ කොටියා මහ කොඩිය බිම්තැන්නේ ගිරවා මහ කොඩියා තමන්කඩුව වලහා මහ කොඩිය යන මෙම දිසාවන් 12 සංකේතවත් කෙරෙන දිසා කොඩි 12 ක් ද, 1 උඩුනුවර 6 හේවා හැට 2 යටිනුවර 7 කොත්මලේ 3 තුම්පනේ 8 උඩ බුලත්ගම 4 හාරිස්පත්තුව 9 පාත බුලත්ගම 5 දුම්බර යන නවයට වෙන්වු කොඩි නවය රටේ රාළ වරුන්ගේ යටතේ පැවති රට යන පාලන ඒකකය සංකේතවත් කිරීම සඳහා ද යොදා ගන්නා ලදී. මෙම කොඩි තුළින් ඒ ඒ දිසාව හා රට නියෝජනය කරමින් දිසාවේ වරු හා රටේ රාළලා තම නිල පිරිස සම`ග තමන්ට නියමිත කොඩිය රැුගෙන පෙරහැරට සහභාගි වීම සාම්ප්‍රදායික චාරිත්‍රයක් විය. අද එම නිලකරුවන් සම්බන්ධ නොවන නමුත් මෙම කොඩි රැුගෙන යාම තුළින් සංකේතවත් කරනුයේ පැරණි මහනුවර රාජධානියට අයත් දිසා හා රට නිරූපනය කොට එම බලාධිකාරය සංකේතවත් කිරීමයි.
 
6. පිත්තල දිසා කොඩි - අංක 5 හා බැඳේ.
 
7. කඩු ගෙනයන්නෝ- පෙරහැරට ආරක්ෂාව සැපයීම සංකේතවත් කරමින් පැරණි පෙරහැර පෙළගැස්මේ සිට පැවත එන අංගයකි. පෙර රජ දවස රාජකිය හමුදාවේ කඩු ගත් හමුදාව මෙයට සහභාගි වුහ.
 
8. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ- මහනුවර රාජ සමයේ අවසාන භාගයේ එක්ව තිබූ අංගයකි. අලියෙකු පිට නැගී යන මොහු නිලකරුවන්ගේ රාජකාරි වාර්තා,ශ්‍රී දළදා මාළිගාවේ දේපල පිළිබද වාර්තා හා පෙරහැර ගමන් ගන්නා මාර්ගය පිළිබඳ වාර්තා සහිත ලේකම් මිටිය සංකේතවත් කරමින් රිදී මංජුසාවක බහා රැුගෙන යාම සිදුකරයි. මොහු සුදු තුප්පොට්ටියකින්, සුදු හැට්ටයකින් හා හිස් වැසුමකින් සැරසී සිටී.
 
9. හේවිසිකරුවෝ- දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි යන වාද්‍ය භාණ්ඩයන් භාවිතා කෙරෙති. පුජා හා සංනිවේදනයට විවිධ ගමන් පද වාදනය කරමින් ඉදිරියට ඇදී යන ඔවුහු පෙරහැරේ චමත්කාරය වර්ධනය කරති. එසේම මොවුහු පෙරහැරේ තේජසද ගාම්භීරත්වය ද වර්ධනය කරති. ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි පරම්පරා හතරම දවුල් කණ්ඩායමට ඇතුලත් වීම සුවිශේෂි ලක්ෂණයකි. දවුල් ගැසීමට පැරණියේදි සමත්කම් දැක්වූවන් අතර වැල්ලේතොට පරපුර, මොළදණ්ඩ පරපුර, හේවාවිස්ස, උඩුවෙල, කහල්ල, උඩුපිහිල්ල යන පරපුරවල් බෙහෙවින් දක්ෂ වූහ. එසේම මෙම පරම්පරා අතර මොළගොඩ, ඉහලවෙල, මාලගම්මන වැනි පරපුරවල් වර්තමානයේදී ද ප්‍රසිද්ධියට පත්වී ඇත.
 
10. ගජනායක නිලමේ- රජතමය අංකුසයක් අතින් ගෙන අලියෙකු පිට ගමන් කරන මොහු ඇත් පන්තියේ නායකත්වය ගත් තැනැත්තා ලෙස පෙර සිටම සංකේතවත් කෙරිණි. පුජාමය මංගල්ලයන්හි අලි ඇතුන් සහභාගි වීම පැරණි රජකාලයේ සිට පැවත එන චාරිත්‍රයකි. විශේෂයෙන් වැසිබර මේඝය සංකේතවත් කර දැක්විම අලි ඇතුන්ගෙන් ඉටුවේ. අනුරපුර පොළොන්නරුව ආදී පැරණි යුගයන්හි අලි ඇතුන්ට අමතරව අසුන් ද පෙරහැරට සහාගි කරවා ගත් බව දක්නට ලැබේ.
 
11. හොරණෑ වාදකයෝ - දේශීය පංචතූර්ය වාදනයේ සුසිර කොටසට අදාලව මිහිරි නාදයක් උපදවන නළා විශේෂයක් වශයෙන් හොරණෑවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. හේවිසි වාදනයේදී ද හොරණෑව යොදා ගනී. 2006 වසරේ සිට ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට අළුතින් එක් කළ අංගයකි. ජයමංගල ගාථා, ගජගා වන්නම ඇතුළු භක්තිය ප්‍රකාශවන විවිධ නාද මාලා මෙම හොරණෑ වාදන කණ්ඩායම භාවිතයට ගෙන ඇත.
 
12. චාමර නැටුම :- ශ්‍රී දළදා වහන්සේට සහ රජවරුන් ඇතුලු ප්‍රභුන්ට පවන් සැලීම සඳහා චාමරය යොදාගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජසභා නර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධානවී ඇත. මෙවලමක් අතැතිව නර්තනයේ යෙදෙන නිසා මෙය ගැමි නැටුමක් ලෙස ද හැඳින්වීමට හැකිය. එහෙත් මේ සඳහා යොදාගෙන ඇති ගායන සහ චලන දෙස බලන විට ගැමි නැටුමක් වශයෙන් හැඳින්වීමට නොහැකිය. කෙසේ වුව ද හුදු විනෝදය සඳහා සරල බෙර පද හා නර්තන ඇසුරු කර ගනිමින් නිර්මාණය වී ඇති චාමර නැටුම මෙම පෙරහරේ සුවිශේෂ තැනක් ගනී.
 
13. ලී කෙලි කණ්ඩායම :- ඉතා සරල වූ නැටුම් විශේෂයකි. ගෝත්‍රික නැටුම් වලින් ශේෂ වූ නර්තන අංගයකි. හුදු විනෝදය ප්‍රකාශ කිරීම සඳහා සරල බෙරපද සරල කවි, රංග රටා හා සරල චලන යොදා ගනිමින් තාලානුකූලව ලී එකිනෙක ගට්ටනය කරමින් නිර්මාණය වූ ගැමි නැටුම් අංගයකි. උඩරට නැටුම් සම්ප්‍රදායානුකුලව සකසා ගෙන ඇති මෙම නර්තන කාර්යේදි පැරණියේදි සමත්කම් දැක්වුන් අතර, උඩුවෙල, පරණගම, ෙල්වල, පරපුරවල් ප්‍රධාන තැනක් ගනි.
 
14. පන්තේරු කණ්ඩායම- උඩරට නර්තන සම්පප්‍රදායේ විශේෂ වූ නර්තන අංගයකි. සූවිසි විවරණ, සත්සතියල පන්සාලිස්වසල වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන් වර්ණවත් වී ඇත. පත්තිනි දේවියන්ගේ සළඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇතිබව ප්‍රකට මතයකි. ගැටබෙරය හෙවත් උඩරට බෙරය මෙහිදී වාදනය සඳහා යොදාගනී. උඩරට නර්තනයට අදාලව සුවිශේෂ කුසලතා දක්වමින් නර්තනයේ යෙදීම පන්තේරු නැටුමේ විශේෂ ලක්ෂණයකි. හිස බදින රෙද්ද කරවට බදින සුරය, කඩුක්කන්තෝඩු, වළලූ, පිජාමාව, අදින රෙද්ද, පච්චවඩම, සිලම්ඹු, කළුලේන්සුව, හවඩිය ඇඳුම් ආයිත්තම් අතර දක්නට හැකිය. අතීතයේදී ඌරුපොල, වේරකේ, අලපලාවල, බූටාවත්ත, බටුගොඩ, මැදගොඩ, කඩිගමුව, බටගල්ල, පාතහේවාහැට පරපුරවල් නම් දැරූහ.
 
15. තාලම් කණ්ඩායම :- ගැමි නැටුම් විශේෂයකි. තාල වාද්‍ය භාණ්ඩයක්වන තාලම්පට අත ඇතිව, සරල නැටුම් හා ඒ සඳහා නියමිත ගායනා යොදා ගනිමින් ගැට බෙරයේ වාදනයට අනුව සකස්වී ඇති සරළ නැටුම් අංගයකි.
 
16. හවඩි ද`ගයා :- ලී කෙළි නැටුමෙන් වර්ධනය වූ චමත්කාර නැටුම් අංගයකි. මෙහි විශේෂත්වය වනුයේ ලී කෙළි නැටුමට යොදාගන්නා පොලූ සහ ලණු යොදා ගනිමින් අලංකාර රටා වියමනක් නිර්මාණය කිරීමයි. කණ්ඩායම වටේට නටමින් මැද කණුවක් යොදාගනිමින් ඒ වටා රටා ගෙතීම සහ එම ගෙතීම නැවත ආපසු යථා පරිදි නිදහස් කිරීම නර්තනයේ යෙදෙමින්ම කෙරෙන සුවිශේෂ කාර්යයකි. මෙයද, ගැමි නැටුම් අංගයකි.
 
17. නෛයියංඩි කණ්ඩායම- හිසවෙස් ආභරණ රහිතව නෛයන්ඩි රංගාභරණයෙන් සැරසුනු ප්‍රවීන ශිල්පීන් විසින් ඉදිරිපත් කරන උඩරට සම්ප්‍රරදායික නැටුමකි. ගැටබෙරය වාදනය සඳහා යොදා ගන්නා අතර උඩරට නැටුමට අදාලවූ කවි ගායනා යොදාගනී. (කණ්ඩායම් දෙකකි) උඩරටට ආවේනික නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙරාතුව හැදෑරිය යුතු නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙර කලඑලි රංගනයට ද යොදා ගනි. අවුල් හැරය, බන්ඩි වළලූ, උරබාහුව, සිලම්බු, රැුළි මන්තය, යට කලිසම, අටිරියක අදින රෙද්ද, පච්චවඩමල ආදියෙන් ඇඳුම් ආයිත්තම් සමන්විත වේ. අතීතයේ වෙස් නැටුමට සමත්කම් දැක්වූයේ නාරම්පනාව, ඇලඔටුව ගල්දොල යන පරපුරවලය. උඩරට නර්තන සම්ප්‍රදායට අදාලව නර්තන අංගයකි.
 
18. කඩු සරඹ :- කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනප්‍රිය වූ නර්තන අංගයකි. ප්‍රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.
 
19. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ
 
20. අත් රබන් :- ශ්‍රී ලංකාවේ රබන් වාදන අතර මහ රබන් අත් රබන් සහ විරිදු රබන් වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකිය. මෙහි අත්රබන් කොටසට අයත්ව අතින් වාදනය කරමින් රබාන කරකවමින් සුවිශේෂවූ ශිල්ප දක්වමින්, උඩ දැමීම දෑත් වටා කර කැපීම ආදි ශිල්ප දැක්වීම මෙහි වැදගත් ලක්ෂණයකි. රබන් වාදනයට අදාල කවි ගායනා සහ ප්‍රශස්ථ ගායනා යොදා ගනී. යට කලිසම මදක් ඉහළින් අදි, දුඹුරු පාට රෙද්ද, මන්තය, අවුල් හැරය කඩුක්කන්, සිලම්ඹු, ඇදුම් පැළදුම් වශයෙන් භාවිතා කෙරේ.
 
21. තාලං නැටුම :- අංක 15 හා බැදේ
 
22. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ
 
23. වේවැල් නැටුම :- වේවැල් අතින් ගෙන රංග රටා නිර්මාණය කරමින් රංගනයේ යෙදෙන විශේෂිත වූ ගැමි නැටුමකි. මෙහි නැටුමට වඩා ආකර්ශණීය වූ රංග රටා සමූහයකින් යුක්තය. දික්වූ වේවැල් කෙලවර අල්ලාගෙන කණ්ඩායමේ එකිනෙකා මාරුවෙමින් ෙප්‍රක්ෂක සිත් ඇද ගනිමින් රංගනයේ යෙදේ. ගායන හා වාදන සඳහා විශේෂ තැනක් හිමි නොවේ.
 
24. උඩැක්කි නැටුම :- ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන එක් අතකින් වාදනය කරමින් බුදු ගුණ ගයමින් එයටම ආවේණික වූ රංග වස්ත‍්‍රාභරණයකින් සැරසී සරල නැටුමක් ඉදරිරිපත් කිරීම මෙහි විශේෂත්වයයි. පෙරහර අංගයක් වශයෙන් සැකසීමේදී විශේෂිත වූ රංග රටා යොදාගනිමින් අත් වාරු ආදිය ඇතිව වාදනයේ යෙදෙමින් රංගනයේ යෙදේ.
 
25. නෛයියංඩි කණ්ඩායම :- අංක 17 හා බැදේ
 
26. කඩු නැටුම් කණ්ඩායම :- අංක 18 හා බැදේ
 
27. තම්මැට්ටම් වාදන කණ්ඩායම :- පංච තූර්ය්‍ය වාදන භාණ්ඩයක් හා හේවිසි වාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කරන වාදන කණ්ඩයකි. 2006 වසරේ සිට මෙම පෙරහරට අළුතින් එක්කළ ඉතා වැදගත් වූත් ශාස්ත‍්‍රීය වශයෙන් වටිනාකමකින් යුතු වූත් දක්ෂ වාදන කණ්ඩායමකි. තම්මැට්ටම් වාදනය සඳහා උඩුනුවර, ඇරව්වාවල, හේවාවිස්ස, යකාවෙල, රිදීගම යන පරපුරවල් නම්දරා සිටියහ.
 
28. රබන් රංගන කණ්ඩායම :- අංක 20 හා බැදේ
 
29. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ
 
30. පතුරු නැටුම් කණ්ඩායම :- ලී පතුරක් අතැතිව නටන ගැමි නැටුමකි. නැටුමට ආවේණික කවි ගායනා සහ වාදන යොදාගෙන ඇත. ගැමි නැටුමක් වශයෙන් ප්‍රචලිත වූ පතුරු නැටුම විචිත්‍ර වූ රංග රටා හා චලන යොදා ගනිමින් තාලයට අනුව අත් හා පාද සමග ඝට්ඨනය කරමින් නර්තනයේ යෙදෙන නිර්මාණාත්මක නර්තන අංගයකි.
 
31. උඩැක්කි නැටුම :- අංක 24 හා බැදේ
 
32. වෙස් කණ්ඩායම :- උඩරට නැටුමේ මුදුන් මල් කඩ වූ වෙස් නැටුම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ද ප්‍රචලිත නැටුම් විශේෂයකි.ප්‍රවීන ශිල්පීන් විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ. උඩරට නැටුමට අදාල කවි ගායනා කරමින්ප්‍රරවීන වාදන ශිල්පීන්ගේ බෙර වාදනයට අනුව ඉදිරිපත් කරන මෙම වෙස් නැටුමශ්‍රී දළදා කරඬුව සහ ගරු දියවඩන නිළමේ තුමා ඉදිරියේ කණ්ඩායම් දෙකක් වශයෙන් රංගනයේ යෙදේ. මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂ වූ මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ නර්තනය වන්නේද උඩරට වෙස් නැටුමයි. මෙම නර්තන අංගය මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයට එක්වී ඇත්තේ ක්‍රි.ව 1919 සිට බව කියවේ.
 
33. කාරිය කරවන කෝරාළ- ඔහුට අයත් සුවිශේෂී කාර්යයන් අතර වැඩමවන පෙරහැර කරඬුව භාරව ගමන් කිරීම වැදගත් රාජකාරියක් වශයෙන් සැලකේ. සුදු තුප්පොට්ටිය, සුදු හැට්ටය හා හිස් වැසුම ඔහුගේ නිල ඇදුමයි.
 
34. නාගසිංහම්- නානුමුර මංගල්ලය හා විශේෂ උත්සව මංගල්ලයන්හිදි ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරෙන වාදනයන් අතර මෙය ද වැදගත් තැනක් ගනි. නාගසිංහම්, තබ්බෝරුව, උඩැක්කිය, කයිතාලම ඔවුන්ගේ වාද්‍ය භාණ්ඩයි. මෙය හින්දු බලපෑම තුළින් සකස් වූවක් ලෙස කල්පනා කරති.
 
35. උඩු වියන් සහිත පාවඩ මතින් කරඩුව වඩමවන මංගල හස්ති රාජයා සම`ග දෑලේ ඇතුන් දෙදෙනා:- පෙරහැර කරඩුව වැඩමවන හස්ති රාජයා වශයෙන් වසර පනහක් පමණ තිස්සේ අද ජාතික උරුමයක් බවට පත්ව ඇති රාජා ඇතා යොදා ගන්නා ලදි. ඉන්පසු බොහෝ විට වසරින් වසරට වෙනත් ඇතුන් මේ සඳහා යොදාගෙන ඇත.
 
36. බෞද්ධ කොඩි 02 රැගෙන යාම
 
37. කවිකාර මඩුව :- ශ්‍රී දළදා මාළිගාවේ කවිකාර මඩුව මෙයට සහභාගි වේ.
 
38. මල් පහන් ගෙනයන්නෝ- මෙයද පැරණියේ පවතින චාරිත්‍රයකි. මෑත අතීතයේදි නැවත ඇති විය.
 
39. වෙස් නැටුම්- අංක 32 හා බැදේ
 
40. දියවඩන නිලමේතුමා- ක්‍රි. ව. 1814 සිට දියවඩන නිලමේවරු 19 දෙනෙකු නිල කාර්යයෙහියෙදි ඇති අතර 19 වන දියවඩන නිලමේවරයා වශයෙන් ප‍්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම පෙරහැරට සහභාගි වේ.
 
41. දෙපස මුරායුධ කරුවන් හා මුතුකුඩය :-
 
42. බුරුම කොඩි 02 ක්
 
43. ගම් දහයේ විදානේවරු :- අතීතයේදි විදානේවරු 09 දෙනෙකු සහභාගි වූ අතර වර්තමානයේදී 13 දෙනෙකු සහභාගි වෙති. මොවුහු නිල ඇදුමින් සැරසී දියවඩන නිලමේතුමාට පසු පසින් ගමන් කරති.
 
44. මෙතැන් සිට දළදා මාලිගාව පෙරහැරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සව්මහා දේවාලයන්හි පෙරහැර අනුපිළිවෙලට ගමන් කෙරෙනු ඇත. සිව්මහා දේවාලයන්හි පෙරහැර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිව්මහා දේවාලයන්ගෙන් නාථ විෂ්ණු පත්තිනි දේවාල තුන ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතරල මහනුවර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙයින් නාථ හා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වටවී තිබෙනු දැකිය හැකිය. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලයන්හිදි මෙම සිව් මහා දේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ. ශ්‍රී නාථ දේවාලය ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණා රාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැුගෙන ඉන් එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත් ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවා ලූහුබදිනු ලැබීය. හාවා තමා සැගවී සිටි පදුර අසල ගස්බිලය දක්වා දුවවිත් ආපසු හැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක් දල කොටියකු විසින් ලූහුබදිනු ලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලද සිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම් බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ. බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැවේ. එසේම චුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ‍්‍රහක්මණයෙකු විසින් ගෙන එන ලද දෙතිස් පලරුහ බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වී යැයි පැවසෙන මතයක් ද පවති. මෙම දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩ නැගිල්ලකි. ශ්‍රී දළදා මාළිගාවටත් පෙරාතුව මෙම ගොඩනැගිල්ල ඉදිකළ බව කියවේ. මහනුවර රජවරු ඔටුනු පැළදවීම. කඩු කරලීම සිදුකළේ ද රජුට නමක් තැබීමේදි පුස්කොළ වල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක් තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේය. කප් සිටුවීමේදි කපෙහි මුල් කොටස බෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේදි පළමුව ගැටඹේ තොටට බැසීමට හැක්කේ දල නාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ වශයෙන් දල හංසයා රථය වශයෙන් ද යොදා ගැනේ. මෙම දේවාලයේ පෙරහැර පෙළගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානවය. විෂ්ණු දේවාලය ඇසල පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළු වාහනාරුඩව දස අවතාරයෙන් පෙනිසිටිමින් සියලූ ලෝ සතුනට සෙත් ශාන්තිය සලසන මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරිව ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනු වෙන් මෙම දේවාලය කැප කොට ඇත. මෙම දෙවියන් වෙනුවෙන් කැපවු ප්‍රධාන දේවාල කිපයක්ම දිවයිනේ පිහිටා තිබේ. කොලොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන අලූත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතම දේවාලයකි. පැරණියේදි මහනුවර ඇසල මහා පෙරහැරට පෙරින් පෙරහැර පැවැත්වෙන අලූත් නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන් බව කියවේ. මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැගිමෙන් අනතුරුව මහ දේවාලය වශයෙන් එය හැදින්වීමට පටන් ගති. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බදිනු ලැබීමේ චාරිත‍්‍රය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවේ. ඇසළ මහා පෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවන වලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි. කතරගම දේවාලය 14 වන සියවසරේදි පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වන සියවසරේදි වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණු ප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේය. මුහුණු සයකින් හා අත් දොළොසකින් රක්න වර්ණයෙන් මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තනයන් අතර කාවඩි නැටුම සුවිශේෂි තැනක් ගනි. පත්තිනි දේවාලය ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙස පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනප්‍රවාදයන්හි දැක්වේ. වරෙක ජලයෙන් දල තවත් වරෙක මලෙන් ද තවත් වරෙක නයි කදුලෙන් ද, තවත් විටෙක කදුරු පොත්තෙන් දල තවත් විටෙක පිණි බිදුවෙන් ද, තවත් වරෙක හෙණෙන් ද, අවසන අඹෙන් ද, උපන් බව පත්තිනියාදින්නෙහි සඳහන් වේ. විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙන බව විශ්වාස කෙරෙන අතර, සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනිමට හා දරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙස පත්තිනි දේව මැණියෝ අදහති. පත්තිනි දේවාලයේ පෙරහැර ඇසළ පෙරහැරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැම්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවු කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.